බැඳුම්කර වාර්තා පිළිබඳ විවාදය මාර්තු 20ත් 23ත් අතර

බැඳුම්කර හා මහා පරිමාණ වංචා විමර්ශන වාර්තා පිළිබඳ විවාදය මාර්තු 20ත් 23ත් අතර පැවැත්වෙන ලකුණු

by Staff writer 23-02-2018 | 7:53 AM
Colombo (Newsfirst) බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ සහ මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය යළි ලබන මාර්තු 20ත් 23ත් අතර පැවැත්වීමේ හැකියාවක් පවතින බව පාර්ලිමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පක්ෂ නායකයින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර දින නියම කර ගන්නා බව ය. පසුගිය 21 වන දා පැවැත්වීමට නියමිතව තිබූ බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ සහ මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදය කල් තැබිණි. ඒ, අදාළ වාර්තාවල දෙමළ පරිවර්තන නොමැති වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීම හේතුවෙනි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ වාර්තාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබීම හේතුවෙන් එය විවාදයට ගැනීමේ බාධාවක් නොමැති බව ය. එහෙත් මහ පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභා වාර්තාව මෙතෙක් ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවලට පරිවර්තනය කර නොමැත. අදාළ පරිවර්තන කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, එම වාර්තාව පරිවර්තනය කිරීම සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට භාර දී ඇති බව ය. එම පරිවර්තන ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අද යළි රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට දැනුම් දෙන බව ද ජනාධිපති ලේකම්වරයා පැවසුවේ ය. මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභා වාර්තාව පිටු 8000කින් සමන්විත ය.