බටහිරින් අපට තෑගි කළ අපේ ම ඥානය - 1

බටහිරින් අපට තෑගි කළ අපේ ම ඥානය - පළමු දිගහැරුම

by Staff writer 23-02-2018 | 5:05 PM
ඈත අතීතයේ සිට ම පෙරදිග අපට විශාල අසාධාරණයකට ලක්වීමට සිදුව තිබේ. ඒ, පෙරදිග පැවති විශිෂ්ට ඥානය අපරදිගට කොල්ල කාගෙන ගොස් එම ඥානය අපරදිගට අයත් බවට ලෝකය විශ්වාස කිරීම හේතුවෙනි. අංශ රැසක අතීතය පිරික්සීමේදී පෙනී යන්නේ, බටහිරින් පෙරදිගට විශේෂයෙන් මෙරටට ආනයනය වූ තාක්ෂණය සහ ඥානය අපේ ම මුතුන් මිත්තන් ගොඩ නැගූවක් බව ය. මෙය තහවුරු කිරීම සඳහා විශේෂ ලිපි පෙළක් සම්පාදනය කිරීමට අදහස් කළේ, පසුගාමී ජාතියක් (මෙහිදී ජාතිය යනු සිංහල ජන වර්ගය නියෝජනය කිරීම සඳහා වන සර්ව නාමයක් නොවන බව සලකන්න. එය සමස්ත ශ්‍රී ලංකාවේ විසූ සහ වෙසෙන මිනිස් ජාතිය අර්ථවත් කෙරේ) ලෙස චින්තනය මෙහෙයවන අපගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ය. මෙහි පළමු ලිපිය 'විජයාගමනය' ආශ්‍රිතව සම්පාදනය කිරීමට තීරණය කළෙමි. 'විජයාගමනය' සම්බන්ධ සිද්ධිය සැලකීමේදී අවධානය යොමු කළ යුතු සුවිශේෂී කාරණා දෙකක් තිබේ.

1. විජය මෙරටට පැමිණීම

විජය දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණීම ම පෙරදිග පැවති තාක්ෂණික ඥානයේ ස්වභාවය පැහැදිලි කරන්නකි. ඔහු මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ගොඩ බැස්සා නම් ඔහු තවත් පිරිසක් සමග මෙරටට පැමිණියේ කෙසේ ද? ඔහු පැමිණියේ දින ගණනක් මුහුදේ සංචාරය කළ හැකි ආකාරයේ යාත්‍රාවකින් විය නොහැකි ද? එසේ නම් මීට වසර දහස් ගණනකට පෙර මුහුදු යාත්‍රා තිබී ඇතැයි උපකල්පනය කිරීමට සිදුවේ. ඊට අමතරව රාවණා රජුගේ දඬුමොනරය පිළිබඳව ද අපි අසා ඇත්තෙමු. මේ කරුණුවල සත්‍යතාවක් ඇත්නම් ඉන්දියාව ද අයත් පෙරදිග කලාපයේ අතිශය දියුණු තාක්ෂණික ඥානයක් පැවති බවට තර්ක කළ හැකි ය.

2. කුවේණිය

අනෙක් අතට වංශ කතාවල දැක්වෙන පරිදි ලක්දිව ශිෂ්ටාචාරවත් වූයේ විජයාගමනයෙන් පසුව ද යන්න සලකා බැලිය යුතු ය. විජය ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිටි බව එම වංශ කතාවල ම දැක්වේ. කුවේණිය විසින් කපු කටින ලද්දේ ඇයි? ඒ, මෙරට ජනයා වස්ත්‍ර අඳින යම් ශිෂ්ටාචාරවත් ජීවන තත්ත්වයක පසුවූ බැවින් විය යුතු ය. අනෙක් අතට කපු කටින යන්ත්‍ර සැකසීමට තරම් දැනුමක් මෙරට තිබිණි. මෙම කරුණු දෙක සැලකිල්ලට ගැනීමේදී අපට පැහැදිලි කර ගත හැකි වන්නේ, අපගේ මුතුන් මිත්තන් සතුව බටහිරට පෙර තාක්ෂණික දැනුමක් පැවති බව ය. එම දැනුම විදේශ ආක්‍රමණ හරහා සිදුවූ ව්‍යසනයන් හේතුවෙන් අපට අහිමි වී තිබේ. එම ආක්‍රමණ හරහා අපෙන් බටහිර රටවලට රැගෙන ගිය දැනුම දීර්ඝ කාලයකට පසුව බටහිරකරණය වී අපට ම ලැබී ඇත. අප සිතනුයේ, එම දැනුම ඔවුන්ගේ කියා ය. එහෙත්, එය මිථ්‍යාවකි. වෙනත් මුහුණුවරකින් බටහිර රටවල් අපට තෑගි කළේ අපගේ ම ඥානය යි. (මෙය ඉතිහාසය පිළිබඳ විශ්ලේෂණයක් නොවන අතර අපගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නැවත වරක් ධනාත්මකව සිතීමට කරන ඇරයුමකින් කළ පැහැදිලි කිරීමක් බව සලකන්න) - ශාස්ත්‍රවේදී කුමුදු ජයවර්ධන