කහගොල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක්

කහගොල්ලේදී බස් රථයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

by Staff writer 23-02-2018 | 9:16 AM
Colombo (Newsfirst) දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් තුළ අත් බෝම්බයක් පුපුරා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට යුද හමුදාපතිවරයාගේ නියෝගය මත විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඒ, මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙනි. අදාළ කමිටුවට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත් ය. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් දෙන්නැයි යුද හමුදාපතිවරයා අදාළ කමිටුවට උපදෙස් ලබා දී ඇති බව ය. බස් රථයේ සිටි යුද හමුදා සාමාජිකයෙකු සතුව තිබූ අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුර සිදුව ඇති බව මේ වන විටත් තහවුරු වී අවසන් ය. දැනට එම හමුදා සාමාජිකයා බරපතල තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු සුව වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන පීඩාකාරී පනත යටතේ පුද්ගලයින් 19 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියෙන් තුවාල ලැබූ 9 දෙනෙක් තවදුරටත් දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබති.