බානබී ජොයිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු උප අගමැති, සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

by Staff writer 23-02-2018 | 12:48 PM
(Newsfirst) ඔස්ට්‍රේලියානු උප අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රකාශ කර තිබේ. ඔස්ට්‍රේලියානු උප අගමැති බානබී ජොයිස් මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය කාලය තුළ ඔහුගේ දේශපාලන ජීවීතයට එල්ල වූ චෝදනා හමුවේ ය. එළැඹෙන සඳුදා ඔහු ජාතික පක්ෂයේ නායක තනතුරෙන් ද ඉවත් වන බව බානබී ජොයිස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාහි සඳහන් ය. ජොයිස්, ඔහුගේ හිටපු කාර්යය මණ්ඩල සේවිකාවක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව ඔහුට එල්ල වූ නවතම චෝදනාව වේ. කෙසේ වෙතත් ඔහු අගමැති ධූරයට අදාළ නීතී උල්ලංඝනය කර තිබේ ද යන්න පිළිබඳ නැගෙන ප්‍රශ්නවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. බානබී ජොයිස් මුහුණ පා සිටින දේශපාලනික අර්බුදය පසුගිය සති කිහිපය තුළ දැඩි ලෙස කථා බහට ලක්වූ අතර, ඔහු අගමැති ටර්න්බුල්ගේ ප්‍රසිද්ධ විවේචනයට ද ලක්විණි. විදේස වාර්තාහි දැක්වෙන්නේ, මෙහිදී අගමැතිවරයා, අමාත්‍යවරුන් තම සේවකයින් සමග රාජකාරීමය සබඳතා හැර වෙනයම් සම්බන්ධතාවන් ඇති කර ගැනීම තහනම් කළ යුතුය යන්න තරයේ ප්‍රකාශ කළ බව ය. කෙසේ වෙතත් ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිගින් දිගටම මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය. හිටපු මාධ්‍ය උපදේශිකාවක වන විකී කැම්ප්ෂන් සමග පැවති ප්‍රේම සම්බන්ධතාව හේතුවෙන් උප අගමැති ධූරයේ රාජකාරී කටයුතුවලට බාධාවක් නොවූ බව ද ඔහු අවධාරණය කර තිබේ.