වගා කටයුතුවලට ලබා දෙන රජයේ ඉඩම් සඳහා බදු සහන

වගා කටයුතුවලට ලබා දෙන රජයේ ඉඩම් සඳහා බදු සහන

by Sagarika Chathumali 22-02-2018 | 4:46 PM

COLOMBO (Newsfirst ) : කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දෙන ඉඩම් සඳහා බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් කෘෂිකර්ම කටයුතු සඳහා රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝකාලීන බදු පදනම මත ඉදිරියේදී ඉඩම් ලබා දීමේදී පහත බදු සහන හිමිවනු ඇති. i) වාර්ෂික බදු මුදල මෙන් තෙ ගුණයක් ලෙස එක් වරක් පමණක් අය කරනු ලබන වාර මුදල අය නොකිරීම. (ii) සෑම වර්ෂ 05කට වරක් 50%කින් වැඩි වන පරිදි සිදු කරනු ලබන බදු මුදල් ප්‍රතිශෝධනය වෙනුවට, බදු ප්‍රතිශෝධනය කරනු ලබන වර්ෂයට පෙර වර්ෂයේ පැවති බදු මුදලට 20%ක ප්‍රමාණයක් පමණක් එකතු කිරීමෙන් ප්‍රතිශෝධනය කිරීම. (iii) පළමු බදු කාලය අවසන් වීමෙන් පසු බදු කාලය නැවත දීර්ඝ කිරීමේදී, මුල් බදු කාලය අවසානයේ අය කළ බදු මුදලට 20%ක ප්‍රමාණයක් එකතු කර ලබා ගන්නා අගය දෙවන බදු කාලයේ ආරම්භක බදු මුදල ලෙස සැලකීම. 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිවාස ඉදි කිරීමට හා වාණිජ කටයුතු සඳහා බදු පදනම මත ඉඩම් බැහැර කිරීමේදී බදු සහන ලබා දුන්න ද කෘෂිකාර්මික කටයුතු සඳහා එම ආඥාපනත යටතේ රජයේ ඉඩම් ලබා දීමේදී වාණිජ පදනමින් ඉඩම් බැහැර කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කෙරිණ. මේ අනුව මෙතෙක් මහා පරිමාණ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා රජයේ ඉඩම් නිකුත් කිරීම සීමා වී තිබිණ. කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා විසිනි.