උදයංග වීරතුංග අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කෙරේ

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කෙරේ

by Staff writer 22-02-2018 | 6:47 PM
Colombo (Newsfirst) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජාත්‍යන්තර පොලීසිය විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර තිබේ. විශ්වාසදායි ආරංචි මාර්ගවලට අනුව උදයංග වීරතුංග මහතා පසුගිය 4 වන දා ඩුබායි රටින් පිටව යෑමට තැත් කිරීමේදී ඩුබායි බලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කළ බවට තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත් වැඩිදුර විමර්ශනවලට ඉඩ ලබා දෙමින් ඔහුව නිදහස් කළ බව ද වාර්තා විණි. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා අයැදුම් කර ලබා ගත් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංග මහතා ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මෙහි පරීක්ෂණවලට සම්බන්ධ ඉහළ නිලධාරියෙකු නිව්ස්ෆස්ට් වෙත තහවුරු කළේ, උදයංග වීරතුංග ඩුබායි පොලීසිය ඉදිරියේ පෙනී සිටීම මගහැර ඇති බව ත් ඔහු ඩුබායි නිවසෙන් පැන ගොස් ඇති බවත් ය. ඒ අනුව ඩුබායි පොලීසිය ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර තිබේ. පරීක්ෂණ මෙහෙයවන ඉහළ නිලධාරියා තහවුරු කළේ, මෙම සිද්ධිය විමර්ශන සිද්ධියක් ලෙස සලකන අතර එය සිදු කෙරෙන්නේ මෙරට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව බව ය. යුද මෙහෙයුම් සඳහා මිග් ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සහ තවත් යානා 4ක් සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ. මෙම ප්‍රහාරක ගුවන් යානා අලෙවිකරු මෙරට විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ, එම යානා සඳහා ඔවුන්ට ලැබුණේ, ඩොලර් මිලියන 7ක මුදලක් පමණක් බව ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ ලංකා බැංකු ගිණුම හරහා මෙම ප්‍රහාරක ගුවන් යානා සඳහා ඩොලර් මිලියන 14ක් ගෙවා ඇති බව ය. එය අනුමත කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් බව ත් උදයංග වීරතුංග මහතා අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති බව ත් ආරංචි මාර්ග සඳහන් කළේ ය. මීට අදාළ ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, අලෙවිකරු සහ නියෝජිතයින් අත්සන් තබා ඇත්තේ, ගුවන් හමුදා මූලස්ථානයේ සහ උදයංග වීරතුංග තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ නිල නිවසේදී ය. මීට පෙර අවස්ථා කිහිපයකදී උදයංග වීරතුංග මහතා ෆේස්බුක් ගිණුම හරහා කියා සිටියේ තමන්ට විරුද්ධව කිසිදු අවස්ථාවක රතු නිවේදනයක් නොතිබූ බව ය. ඒ වෙනුවට අන්තර්ජාතික පොලීසිය මගින් නිල් නිවේදනයක් පමණක් නිකුත් කර තිබූ බවට සටහනක් තබා තිබිණි. කෙසේ වුවත් මේ වන විට ජාත්‍යන්තර පොලීසිය ඔහු අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර තිබේ.