ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කරන්නැයි යෝජනාවක්

ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කරන්නැයි යළිත් යෝජනාවක්

by Hashini De Mel 21-02-2018 | 8:25 PM

COLOMBO (Newsfirst) - මහබැංකුව සහ ICTA ආයතනය එක් ව සකස් කළ දෙමුහුන් සමාගමක් මගින් ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කරන ලෙස යළිත් යෝජනාවක් ඉදිරිපත්වී ඇත.

එහෙත් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයාගේ අදහස් වන්නේ, එවැනි සමාගමක් අවශ්‍ය නොවන බවයි. බැංකු, මූල්‍ය ආයතන, රාජ්‍ය ආයතන හා රටේ ජනතාව සම්බන්ධ කර Online ක්‍රමයට ගෙවීම් පියවීම් කළ හැකි ක්‍රමවේදය ජාතික ගෙවීම් වේදිකාවක් ලෙස සරළව පැහැදිලි කළ හැකි ය. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී මේ මහබැංකුවේ නියාමන බලය ද නොතකා ජාතික ගෙවීම් වේදිකාවක් සකස් කිරීමට දැරූ උත්සාහය පිළිබඳව අප දිගින් දිගටම කරුණු අනාවරණය කළෙමු. එම උත්සාහය අසාර්ථක වූයේ, කනගේ මහතාට අදාළ තනතුරු සඳහා සේවා දිගුවක් නොලැබීමත් සමග ය. නමුත් නැවතත් එම යෝජනාව වෙනත් ස්වරූපයකින් ඉදිරිපත්වී ඇත. අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පසුගිය ජනවාරි 12 වන දා මහබැංකුවේ අධිපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබුනේ දින දෙකකට පෙර ආර්ථීක කළමනාකරණ කැබිනට් අනුකමිටුව රැස්වී ගත් තීරණයට අනුව මහබැංකුව හා ICTA ආයතනය එක් ව අරඹන දෙමුහුන් සමාගමක් මගින් ජාතික ගෙවීම් වේදිකාවක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසයි. මේ අතර මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ICTA ආයතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් මහත්මිය පසුව මහබැංකුවේ අධිපතිවරයාට දන්වා ඇත. එහෙත් මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය 15 වන දා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දන්වා ඇත්තේ, දැනටමත් මහබැංකුව යටතේ ඇති ලංකා ක්ලියර් සමාගම මෙම ක්‍රියාවලියේ නිරත ව සිටින බවයි. ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳව සාකච්ඡා කළ රැස්වීමට මහබැංකුවේ කිසිදු නියෝජිතයෙකු සහභාගි නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේ ය. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසූවේ, එම අනුකමිටුවේ සභාපතිවරයා වන අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් මෙම කරුණ පිළිබඳව අදාළ දිනයේ සාකච්ඡා නොකරන බව දැනුම්දීම නිසා අදාළ රැස්වීමට මහබැංකුව සහභාගි නොවූ බව ය. මේ අතර දෙමුහුන් ක්‍රමයේ සමාගමක් හරහා ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කළහොත් වෙනත් පාර්ශවයකට පෞද්ගලික රහසිගත බැංකු තොරතුරු ලැබීමට අවදානමක් ඇති බව දි අයිලන්ඩ් පුවත්පත අද අනතුරු අඟවා තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/1850518628341720/