ජාතික ආර්ථික සභාවේ නව වැඩපිළිවෙළ ලබන සතියේ

ජාතික ආර්ථික සභාවේ නව වැඩපිළිවෙළ ලබන සතියේ

by Hashini De Mel 20-02-2018 | 7:53 PM

COLOMBO (Newsfirst) - අද දිනයේ කැබිනට් රැස්වීමෙන් පසුව ජනපති ප්‍රධානත්වය දරන ජාතික ආර්ථික සභාව රැස් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති ධූරය දරන ජාතික ආර්ථික සභාවේ ලේකම් ධූරය දරනු ඇත්තේ, මහාචාර්ය ලලිත් සමරකෝන් මහතායි. මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ආර්ථීක විද්‍යාඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් මෙන් ම මූල්‍ය පිළිබඳව මහාචාර්යවරයෙකු ද වනු ඇත. අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා, ජනාධිපති ලේකම්වරයා, අගමැති ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සභාවේ සෙසු සාමාජිකයින් වෙති. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ, ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට අද රැස්වීමේදී තීරණය කළ බවයි. ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ, ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩසටහන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිතුමා විසින් ජාතික ආර්ථික සභාව පත් කළේ පසුගිය වසරේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1849387831788133/