මරණ 17කින් යළි කරළියට ආ අමෙරිකානු ගිනිඅවි

ෆ්ලොරීඩා ප්‍රහාරයෙන් පසු අමෙරිකාවේ ගිනිඅවි යළි කරළියට

by Sagarika Chathumali 20-02-2018 | 7:45 AM

ගිනි අවි ළඟ තබා ගැනීම සඳහා වන අණ පනත් සංශෝධනයට තමන් සිය සහය දෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ගිනි අවියක් මිලදී ගැනිමේදී පසුබිම් පරීක්ෂා සිදු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් තර කිරීමට ජනාධිපති ට්‍රම්ප් සිය සහයෝගය ලබා දීමට සූදානම් බවයි. මේ පිළිබඳව ඔහු රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් කෝර්නින් සමග සාකාච්ඡා කර ඇති අතර එහිදී කිසියම් පුද්ගලයෙකු ගිනි අවියක් මිල දී ගැනීමට පෙර කළ යුතු පසුබිම් පරීක්ෂණ සම්බන්ධයෙන් ද්විපාර්ශවීය පනතක් සැකසිය යුතු බවට යෝජනා කර ඇති බව වාර්තා වේ. මේ අතර පුද්ගලයින් 17 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය දා ෆ්ලෝරිඩාහි පාසලක සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු වන නිකලොස් කෘස් සතු ගිනි අවිය, නීත්‍යානුකූලව මිල දී ගත් එකක් බවට වාර්තා වේ. මින් පැහැදිලි වන්නේ, 2016 වර්ශයේ නිකොලස් කෘස් මානසික සෞඛ්‍යය පරීක්ෂාවට ලක් වුව ද පසුගිය වසර තුළ ඔහු හට ගිනි අවි 7ක් මිල දී ගැනීමට හැකියාව ලැබී ඇති බවයි. ගිනි අවි පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පාසල් සිසුන් රජයෙන් ඉල්ලා සිටීමත් සමග මේ පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.