මහර (බඩල්)ගම නගර සභාව අධිකරණය හමුවට

'මහර (බඩල්)ගම' අපූරු නගර සභාව අධිකරණය හමුවට

by Sagarika Chathumali 19-02-2018 | 11:36 AM

COLOMBO (Newsfirst) : මහරගම නගර සභාව ජයග්‍රහණය කළ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින් එම බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන තත්ත්වය පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි නීතී නිලධාරීනි ගයනි ප්‍රේමතිලක මහත්මිය පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ පවතින සුදුසුකම්වලට යටත් නොවන අයෙකුට සභිකයෙකු වශයෙන් පිවිසීමේ හැකියාව නොපවතින බවයි. මෙවර මැතිවරණයේදී ප්‍රදේශයේ අපේකෂකයින් නොවන පිරිසක් ස්වාධීන කණ්ඩායමක් හරහා මහරගම නගර සභාවට තරග කර ජය ගැනීම මැතිවරණ නීති උල්ළංඝණය කිරීමක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. මහරගම නගර සභාව මෙවර ජය ගනු ලැබුවේ, ස්වාධීන කණ්ඩායමක් විසිනි. නාම යෝජනා භාර දෙන අවස්ථාවේ පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමිවිය. එහෙත් මේ ජයග්‍රාහකයින්ගෙන් දෙදෙනෙකු හැර සෙසු සියලු දෙනා වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් වන ලෙස සඳහන් වේ. ඉන් 20 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය, බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තිදෙනකු වැල්ලවත්තේ පදිංචිකරුවන් ය. මෙම ස්වාධීන කණ්ඩායමේ ලැයිස්තුවේ අවුරුදු 80 ඉක්ම වූ සභිකයින් ති දෙනෙකු සිටින අතර ඉන් එක් අයෙකු මේ වනවිට ආඝාත රෝගියෙකි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ සඳහා අධිකරණ තීන්දුවක් ලබාගත යුතු හෙයින් කොමිෂන් සභාවට ගතහැකි පියවරක් නොමැති බවයි.