නිදහස් සන්ධානය ආණ්ඩුව හැර යයි ද?

නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි ද? අවසන් තීරණය අද

by Sagarika Chathumali 19-02-2018 | 7:12 AM

COLOMBO (Newsfirst) : පවතින ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වන්නේ ද, නැද්ද යන්න පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

රට තුළ මතුව ඇති දේශපාලන තත්ත්වය සහ අද පාර්ලිමේන්තුවේදී කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමතිවරු කණ්ඩායමක් ඊයේ රාත්‍රි 7.30ට පමණ ජනාධිපති නිල නිවසට පැමිණියහ. පැය දෙකක පමණ කාලයක් පිරිස ජනාධිපතිතුමා සමග සාකච්ඡා පැවැත්වු අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ, ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව එම සාකච්ඡාවේ දී බහුතරයක මතය වූ බවයි. කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද දහවල් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. අදාළ සාකච්ඡාව සදහා සහභාගී වූ තවත් මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගි නොවීමට ද තීරණය කළ බවයි. මෙම සාකච්ඡාව පෙර අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදි පැවැත්විණ. සවස 6.30 සිට පැයක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂිම් මහතාද එක්ව සිටියේ ය. එම සාකච්ඡාව අවසන් වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අරලියගහ මන්දිරයට කැදවා තිබුණේ විශේෂ සාකච්ඡාවක් සහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහායි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැය එකහාමාරක පමණ වේලාවක් පැවති බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. ඊට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අමතරව එක්සත් ජාතික පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද එක්ව සිටි බව අප වාර්තාකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ.