නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිවරියක් මරුට

නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිවරියක් මරුට

by Hashini De Mel 19-02-2018 | 9:11 PM

COLOMBO (Newsfirst) - නායකත්ව පුහුණුවක් අතරතුර කඹයක එල්ලී ක්‍රියාකාරකමක් සිදු කිරීමට ගොස් හම්බන්තොට විදුහල්පතිවරික් මිය ගොස් තිබේ.

ඒ, හම්බන්තොට සුචී විද්‍යාලයේ විදුහල්පතිවරිය ලෙස කටයුතු කරන වයස 53 හැවිරිදි රෝහිනි කුමාර අතපත්තු මහත්මිය ය. වැඩිහිටි ගැහැණු දරුවන් 4 දෙනකුට අම්මා වූ ඇය හම්බන්තොට සුචී විද්‍යාලයේ දරු දැරියන්ට ද සෙනෙහෙබර මවක් වූවා ය. පසුගිය දිනකදී අධ‍්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයුමෙන් සිදු කෙරෙන විදුහල්පතිවරුන් සඳහා ක්‍රියාත්මක නායකත්ව පුහුණුවකට කැඳවීමක් රෝහීණි මහත්මියට ලැබී තිබුණි. ඒ අනූව විදුහල්පතිතුමිය වාරියපොල වයඹ නායකත්ව පුහුණුව සඳහා පිටත් ව ගොස් ඇත්තේ ඉකුත් 16 වන දායි. නමුත් 17 වන දා පුහුණුවේදී ඇයට අනපේක්ෂිත සිදුවීමකට මුහුණදීමට සිදු විය. පුහුණුව අතරතුරදී කඹයක එල්ලී ක්‍රියාකාරකමක් සිදු කිරීමට රෝහිණි මහත්මියට උපදෙස් ලැබී ඇති බවත්, කඹය අතහැරී, හිස බිම වැදිමෙන් හිසට තුවාල සිදුවී ඇති බවත් ඇයගේ සැමියා පැවසුවේ ය. ඔහු පැවසුවේ , තුවාල ලැබූ සිය බිරිඳ වරකාපොල රෝහලටත් ඉන්පසු කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ඇතුළු කර තිබූ බවයි. තත්ත්වය බරපතළ බැවින් ඇය කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඇය මිය ගොස් ඇත. ගැහුණු දරුවන් සිව්දෙනෙකුට මවක් හා සැමියාට සෙනෙහෙබර බිරිඳක් අහිමි කරමින් රෝහිණි මහත්මිය දෙනෙත් පියා ගත්තේ මෙවැනි නායකත්ව පුහුණු පිළිබඳ ප්‍ර‍ශ්නාර්ථයක් ඉතිරි කරමිනි.