ජන දුක නිවන ඔබේ ගම්මැද්ද නොනැවතී ඉදිරියට

ජන දුක නිවන ඔබේ ගම්මැද්ද නොනැවතී ඉදිරියට

by Hashini De Mel 19-02-2018 | 9:00 PM

COLOMBO (Newsfirst) - මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විශිෂ්ටතම මහජන සත්කාරක ව්‍යාපෘතිය ලෙස සැලකෙන ගම්මැද්ද වැඩසටහන ඉදිරියටම ගමන් කරමින් සිටින්නේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු සහයෝගය සහ මහජන ආශීර්වාද මධ්‍යයේ ය.

ඉකුත් සමයේ නොවිසඳුණු මහජන ගැටලු විශාල ප්‍රමාණයක් විසඳා දෙමින් ජනතාව සමග ජනතාව වෙනුවෙන් ඉදිරියට ගිය ගම්මැද්ද කණ්ඩායම දැන් සිය මෙහෙවර තව ත් පුළුල් කරමින් සිටි. ජන දුක විමසමින් ජන දුකට කන්දෙමින්, හඬක් නැති මිනිසුන්ට හඬක් වෙමින් ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන අප ආරම්භ කළේ, දිවයිනම ආවරණය කරමිනි. එහිදී අපට ශ්‍රී ලංකාවේ සිව්දෙස ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්න හොඳින් අවබෝධ විය. ඒ අනුව පේරාදෙණිය සරසවි සිසුන් සහ අත්වැල් බැඳගත් නිව්ස්ෆස්ට් සාමාජිකයින් ගම්නියම්ගම් පසුකරමින් ඔබේ ගෙමිදුලට පිවිසියේ දේශපාලන පොරොන්දුවලින් හෙම්බත් වූ මොහොතකදීයි. අප ගමින් ගමට එක්රැස් කළ දත්ත හා තොරතුරු ඇතුළත් කොට පර්යේෂණ වාර්තා දෙකක් සකස් කළෙමු. එහිදී ඒ, ඒ, ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත්තේ ය. ඔබ එදින අවදිකළ හඬ අප රටට පමණක් නොව ලෝකයටම රැගෙන ගියේ පළමු ලෝක මානූෂීය සමුළුවේදී ගම්මැද්ද අවසන් වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදෙමිනි. තම වැටුප හෝ විශ්‍රාම වැටුප පිරිමසා ගනිමින් කුඩා මුදලක් ගම්මැද්ද ගිණුමට බැර කළ මිනිසුන් මෙන් ම මිලියන ගණන් වෙන්කළ මහාපරිමාණ ව්‍යාපාරිකයින් ද, වෙළෙඳ සමාගම් ද, ගම්මැද්ද ශක්තිමත් කළේ ය. ගෙවුණු දෙවසර තුළ ගම්මැද්ද මහජන ක්‍රියාන්විතයෙන් පොදුජන යහපත උදෙසා ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට හැකි වූයේ ජනතාව අප වෙත දැක් වූ මහත් අනුග්‍රහය හා ආශිර්වාදය නිසාවෙනි. අනුරාධපුර, පදවිය බී යාය ගම්මානයට ආසන්නව ඇති බුද්දංගල, 40 කොළණිය හා සී යාය ආදී ගම්මානවල පවුල් 1300 කට ආසන්න පිරිසක් පානීය ජලය නොමැති කමින් පීඩා වින්දේ දශක ගණනාවක සිට ය. ජනතාව සමග ජනතාව වෙනුවෙන් පෙරටත් වඩා ශක්තිමත්ව අප රටේ අහිංසක මිනිසුන්ගේ ජනදුක සොයා ගම්මැද්ද මහජන ක්‍රියාන්විතය ව්‍යාප්ත වන බව අප සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු .