ඉන්දීය - ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට

ඉන්දීය - ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට

by Sagarika Chathumali 19-02-2018 | 7:49 AM

තරග තුනකින් සමන්විත ඉන්දීය - දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 28 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගය ජොහැන්ස්බර්ග්හිදී පැවැත්විණ. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 203 කි. ශිකර් ධවාන් සිය සිව්වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 72 කට දැවී ගියේ ය. නායක විරාත් කෝලි ලකුණු 26ක් රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි මනීෂ් පාන්ඩේ ලකුණු 29 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී සිය මංගල පන්දුවාර 20 යි 20 තරගයට ක්‍රීඩා කළ ජුනියර් ඩාලා ලකුණු 47 ට දවා ගත් කඩුළු ගණන 2 කි. ලකුණු 204 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 175 ක් පමණි. ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්රික්ස් සිය මංගල 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 70 කට දැවී ගියේ ය. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 24 ට දවාගත් කඩුළු ගණන 5 කි. බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා විය.