BREAKING : පාලිත රංගේ බණ්ඩාර ඉල්ලා අස්වෙයි

BREAKING : ඇමති රංගේ බණ්ඩාර එජාප සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Sagarika Chathumali 18-02-2018 | 3:32 PM

COLOMBO (Newsfirst) : රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නිවේදනයක්රා නිකුත් කරමින් අමාත්‍ය රංගේ බණ්ඩාර පවසන්නේ, ජීවිත අවදානම ද නොතකා, කැප කිරිම් රැසක් මැද ලබාදුන් ජයග්‍රහණ එක්සත් ජාතික පක්ෂයට කිසිදු අවස්ථාවක නොපෙණුන අතර අගය කිරීමක් ද සිදු නොවීම පිළිබඳව තමා දැඩි කන්ස්සල්ලකට පත්ව සිටින බවයි. දේශපාලන වශයෙන් මව් පක්ෂයෙන් කිසිදු ඇගයීමක් හෝ දායකත්වයක් නොමැති තත්ත්වයක් තුළ ආණමඩුව ජනතාවට උපරිම සේවයක් කිරීමට කළ කැපවීම් ද රංගේ බණ්ඩාර මහතා සිහිපත් කරයි. නායකයින්ට අමතක වූ ජනතාවට දැනගත යුතු මගේ ලියවිල්ල නමින් මාධ්‍ය වෙත දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූවේ, ජීවිතයේ ඉතිරි කාලය ඉතා සුවපහසුවෙන් සහ විවේකීවගත කිරීමට තමා ඉතා කැමැත්තෙන් සිටින බවයි. බලහත්කාරයෙන් එල්ලී සිටිමේ අවශ්‍යතාවක් ද තමාට නොමැති බව  පෙන්වා දෙන ඔහු අවධාරණය කරන්නේ ජනතාව වෙනුවෙන් සේවය කරද්දී එක්සත් ජාතික පක්ෂයේම සිටින ප්‍රබලයින් තමන් ඝාතනය කිරීමට සැලසුම් කළ බවයි. දීර්ඝ කල්පනාවකින් පසුව එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාට භාරදුන් බව පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නිවේදනයේ සඳහන් ය. එම අවස්ථාවේ කබීර් හෂ්ම් මහතාගේත්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙත් දෑස්වල තිබු වේදනාව තමන් දුටු බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කෙරුණත්, ගතවන සෑම මොහොතකම වටිනාකම මිල කළ නොහැකි තරමට ම වටිනා බව පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා තිබේ.