ඔබට සුබ උපන් දිනයක්..!

හෙළ සංගීතයේ විශිෂ්ට සංගීතඥයෙකු වූ ආචාර්ය වික්ටර් රත්නායකයන් 76 වැනි වියට පාතබයි

by Chathuranga Rajapaksha 18-02-2018 | 12:47 PM
COLOMBO (Newsfirst) -  හෙළ සංගීතයේ භාවමය ලකුණ, ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 76 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. 1942 වසරේ පෙබරවාරි මස අද වැනි දිනක කඩුගන්නාවේදී උපන් වික්ටර් රත්නායකයන් සංගීත චාරිකාව සඳහා පාර තනා ගත්තේ කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංග වලින් අහුලා ගත් ගී කණ්ඩ ඔස්සේය. බොදු බැති ගී ගායනයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රියත්වයට පත්වූ පළමු ගීතය වන්නේ 'සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ' ගීතයයි. https://www.youtube.com/watch?v=zwGfxslii3w ගීතය තුළින් ජන හදවත් වලට ආමන්ත්‍රණය කළ ඔහු, පසුව ගී තනු ඔස්සේ ද ජන හදවත් තුළ නිධන්ගත විය. මාතර ආරච්චි සිනමා පටය වෙනුවෙන් 'සඳකඩ පහනක කැටයම් ඔපලා' ගීතයේ තනු නිර්මාණය හරහා සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ වික්ටර් රත්නායකයන් සප්ත ස්වරයේ අපූර්වත්යෙන් රිදී තිරය වර්ණවත් කළේ, සිනමා සංගීතයේ විවිධ හැඩතල මවමිනි. සිරිබෝ අයියා, පොඩි මල්ලි, සරුංගලේ, හුලවාලි සහ අතුරු මිතුරු ඔහුගේ ස්වර රටා වලින් හැඩවුණු සිනමා පට වේ. මෙරට වැඩිම වාර ගණනක් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වූ සංගීතඥයා වන්නේ ද ඔහුයි. ඒ 'ස' ප්‍රසංගය 1450 වාරයක් පවත්වමිනි. ගුවන් විදුලිය, වේදිකාව, රිදී තිරය මෙන්ම පුංචි තිරය ද ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මධුර හඬින් රස ගැන්විය. අඩ සියවසකට අධික කාලයක් හෙළ සංගීතය ගීයෙන් මෙන්ම තනුවෙන් ද සුපෝෂණය කළ ආචාර්ය වික්ටර් රත්නායකයන්, අමරදේවයන්ගෙන් පසු මෙරට බිහිවූ අග්‍රගණ්‍ය සංගීතවේදීන්ගේ ලැයිස්තුවේ ප්‍රථම පෙළ නියෝජනයකි. ජීවන චාරිකාවේ 76 වැනි පියවරට පා තබන ආචාර්ය වික්ටර් රත්නායකයන්ට නිව්ස්ෆස්ට් චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා.