ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක තරගය අදයි

පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් කිරීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක්

by Chathuranga Rajapaksha 18-02-2018 | 8:21 AM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දෙරට අතර විස්සයි 20 තරග 2ක් පැවැත්වෙන අතර පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. පසුගිය වසර පුරාවටම අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයේදී යළි ත් සුපුරුදු දක්ෂතා අතර පැමිණියේය. බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග තුන්කොන් තරගාවලිය සහ බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලියේ ශූරතාවය ද දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරග සංචාරය ද මෙය වීම විශේෂත්වයකි. හතුරුසිංහ කණ්ඩායම තුළ සිදු කර ඇති වෙනස තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි විශ්වාසයකින් තරග කරන ආකාරය මේ වනවිට අපට දැකගත හැකිය. අද තරගයට පෙර අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ පැවසුවේ කණ්ඩායමේ ශක්තිය ගැන තමා සතුටට පත්වෙන බව ත් ශ්‍රී ලංකාවට තවත් ගොඩාක් දුරක් යාම තිබෙන බව ය. අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී හොඳින් කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන බව බංග්ලාදේශ නායක මහමුදුල්ලා පවසයි. දෙරට අතර මේ වනවිට පන්දුවාර 20 තරග 8ක් පවත්වා ඇති අතර ඉන් තරග 6ක ජය ශ්‍රී ලංකාවට සහ තරග 2ක ජය බංග්ලාදේශයට හිමිව තිබේ. කලකට පසු පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් කිරීමට ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.