පතාලය මර්දනයට විශේෂ වැඩපිළිවෙළක්

පතාලය මර්දනයට විශේෂ වැඩපිළිවෙළක්

by Hashini De Mel 18-02-2018 | 8:21 PM

COLOMBO (Newsfirst) - පතාලය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා තිබේ.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, දකුණු පළාතේ ක්‍රියාත්මක වූ පතාල කණ්ඩායම් බස්නාහිර පළාත තුළ ද විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු, පතාල නායකයින් කිහිප දෙනෙකු සහ ප්‍රධාන පෙළේ පතාල සමාජිකයින් කිහිපදෙනෙකු ද මේ වන විට විදෙස්ගත ව සිට මෙරටට යළි පැමිණ ඇති බවට අනාවරණවී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ සිදුවන පතාල ක්‍රියාකාරම් මැඩලීම සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රීව විශේෂ කණ්ඩායම් 6ක් යොදවා ඇති බව ද විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය. එම කණ්ඩායම් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනු ඇත. මේ අතර පසුගිය සිකුරාදා පස්වරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ අද තලංගම වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වන විට හඳුනා ගෙන ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. එම පිරිස් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත.