ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ඉවත් කළ හැකියි

ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ඉවත් කළ හැකියි

by Staff writer 17-02-2018 | 8:20 PM
Colombo (Newsfirst) රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, ව්‍යවස්ථාව අනුව තමන් ධූරයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව ය. ප්‍රශ්නය - අගමැතිතුමනි ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසලා තියෙනවා කියලා වාර්තා වෙනවා අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව මොක්ක ද ඔබතුමාගේ අදහස? ඔබතුමා තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යා යුතුයි කියනවා රනිල් වික්‍රමසිංහ - මම ආණ්ඩුව ගෙනියනවා ඉතින් ප්‍රශ්නය - ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරද්දී ඔබතුමා ආණ්ඩුව ගෙනියන්න සූදානම් ද? රනිල් වික්‍රමසිංහ - මම ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරනවා. ව්‍යවස්ථාව සම්බන්ධ කරමින් අගමැතිවරයා මේ කියන ප්‍රකාශය සත්‍යයක් ද? නීති විශාරදයින්ගෙන් අප මේ ගැන විමසුවේ ය. මෙහිදී ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ, ව්‍යවස්ථාව තුළ අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙන බව ය. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය "අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42/4 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන අයෙකු අගමැතිවරයා ලෙස පත් කළ හැක. එලෙසම ව්‍යවස්ථාවේ 43/2 වගන්තිය යටතේ අගමැතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයාට පත් කළ හැකි නමුත් 43/3 වගන්තිය යටතේ මේ ජනාධිපතිවරයාට මේ කැබිනටි ඇමති ධූර ඕනම අවස්ථාවක වෙනස් කළ හැක. එසේ නම් 43/3 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් මුළු කැබිනට් මණ්ඩලයම ඉවත් කළ හැක. මේ සඳහා අගමැතිවරයාගේ අදහස් විමසිය යුතු නොමැත එලෙසම 46/2 වගන්තිය යටතේ අගමැතිවරයා එම කැබිනටි මණ්ඩලය පවත්වාගෙන යන කාලය තුළ අගමැතිවරයා ලෙස කටයුතු කළ හැක. ඔහුට එම ධූරය නැති වෙන්නේ ඔහුගේ මන්ත්‍රී ධූරය නැතිවුණොත් හෝ මෙම ධූරයෙන් ඉල්ලා අස්වුණොත් පමණි. එහෙත් අගමැතිවරයා විසින් පත් කරන ලද ඇමති මඩුල්ල ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවේ මම දැක්වූ පරිදි ඇමති ධූරවලින් ඉවත් කළ හොත් පන්නා දැමුවොත් එසේ නම් අගමැතිවරයාට තවත් එම කැබිනට් මණ්ඩලයේ තවදුරටත් ක්‍රියා කළ නොහැක. එවිට අගමැතිවරයාගේ සම්පූර්ණ බලය ප්‍රහීන වී යනවා. ඒ අවස්ථාවේදී අගමැතිවරයාට ජනාධිපතිවරයාට 42/ 4 වගන්තිය යටතේ නව අගමැතිවරයෙකු පත් කළ හැක. මේ 19 වන ව්‍යවස්ථාවේ සඳහන් දෙයයි. මෙහි ඉතා කෙටියෙන් කියා තිබෙන්නේ ජනාධිපතිවරයාට සියලු ම කැබිනට් ඇමතිවරුන් පහ කළ හැක පහ කළ වහාම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා වටේ සිටින අගමැතිවරයාට තවදුරටත් අගමැති ධූරයේ කටයුතු කළ නොහැක. එසේ නම් ඔහු නිතතින්ම එම කැබිනට් ඇමතිවරු ඉවත් කළ පසු අගමැති ධූරය ද නැති වනු ඇත. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාට නව අගමැතිවරයා පත් කළ හැක."