ගම්මැද්දෙන් තව ත් ප්‍රජා සත්කාරයක්

මාතර, උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලයට ගම්මැද්දෙන් පානිය ජලය සහ සනීපාරක්ෂක පහසුකම්

by Chathuranga Rajapaksha 17-02-2018 | 2:23 PM
COLOMBO (Newsfirst) - සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමටවත් පහසුකම් නොමැතිව අකුරු කළ මාතර උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ බලාපොරොත්තු යථාර්ථයක් කරන්නට ගම්මැද්ද වැඩ දහස ක්‍රියාන්විතයට අද හැකි විය. සිසුන් 100කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන මාතර උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් අකුරු කළේ, ගැටලු රැසක් මධ්‍යයේ ය. ඒ අතර, පානීය ජල පහසුකම් නොමැති වීම මෙන් ම සනීපාරක්ෂක පහසුකම් නොමැතී වීම ද දරුවන්ට තිබූ ප්‍රධාන බාධකයන් බවට පත් විණි. ඒ සියල්ල මැද දිරියෙන් අකුරු කරන මේ දරු පරපුරට ඒ ගැටලු විසඳා දෙන්නට ගම්මැද්ද වැඩ දහස ක්‍රියාන්විතය මැදිහත් වූයේ, ඊ.එම්.ඩබ්ලිව් ජයසූරිය අනුස්මරණ පදනමේ අනුග්‍රාහකත්වය ද සමගිනි. ලොවට වැඩදායී නායකයින් බිහි කිරීමේ අරමුණින් ලොව පුරා ක්‍රියාත්මක අයිසන් හවර් සංවිධානයේ ප්‍රධානී ජෝජ් ඩිලාමා මහතා සහ එම මැතිණිය, කැපිටල් මහරාජා සංවිධානයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.