ඉතියෝපියාවේ හදීසි තත්ත්වයක්

අගමැතිගේ ඉල්ලා අස්වීමත් සමග ඉතියෝපියාවේ හදීසි තත්ත්වයක්

by Chathuranga Rajapaksha 17-02-2018 | 8:06 AM
අග්‍රාමාත්‍ය හෙයිල්මරියම් ඩිසැලින්ගේ ඉල්ලා අස්වීමත් සමඟ ඉතියෝපියාවට හදීසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා තවත් වර්ධනය වී ඇති බව ය. නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවති විරෝධතා මේ වනවිට සමස්ත ඉතියෝපියාව පුරාම ක්‍රියාත්මක වේ. 2015 වසරේ සිට ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 500 ඉක්මවයි. පොලිස් නිලධාරීන් 90 දෙනෙකු ද ගැටුම් අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති අතර අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව සිය ගණනකි. කෙසේ වෙතත් ජනතාවගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ විරෝධතා මධ්‍යයේ හෙයිල්මරියම් ඩිසැලින් ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 2012 වසරේ ඔහු ඉතියෝපියානු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර ඉන් වසර තුනකට පසුව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූයේ ජනතාව හෙයිල්මරියම්ගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි. ඔහුගේ පාලන කාලය තුළ ඉතියෝපියාවේ ආර්ථිකය තව ත් කඩාවැටීමකට ලක්විය. නියඟය සහ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමට රජය කිසිඳු පියවරක් නොගැනීමෙන් ඉතියෝපියානුවන් විශාල පිරිසක් මියගොස් තිබේ. මානව හිමිකම් උල්ලංඝණය කිරීම, ජනතා ඉඩම් රජයට පවරා ගැනීම සහ විපක්ෂ ආධාරකරුවන් පොලිස් භාරයට ගැනීම යන කරුණු ද හෙයිල්මරියම් රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු විය. කෙසේ වෙතත් ඉතියෝපියාවට මෙතෙක් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර නොමැත.