20/20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹායාම ඔස්ට්‍රේලියාවෙන්

නවසීලන්තය 243 යි; 20/20 න් ඔස්ට්‍රේලියාව ලෝක වාර්තාවක් පිහිටුවයි

by Nadeeshan Meedin 16-02-2018 | 4:22 PM
නවසීලන්තයේ දී, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගය වාර්තා අතරට එක්වූ තරගයක් වේ. නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී, වාර්තා වූ මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ එක් තරගයක දී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසය. නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 243 ක් රැස්කිරීමට සමත්විය. මාටින් ගප්ටිල් පන්දු 54 ක දී ලකුණු 105 ක් රැස්කළ අතර, කොලින් මොන්රෝ පන්දු 33 කින් ලකුණු 76 ක් රැස්කරමින් පළමු කඩුල්ලට ලකුණු 132 ක සබඳතාවක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ඔස්ට්‍රේලියාව නියමිත ඉලක්කය පසුකළේ පන්දු 7 ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වක් විය. පන්දු 24 ක දී ලකුණු 59 ක් රැස්කළ නායක ඩේවිඩ් වෝනර් ජෝන් මැතිව් ශෝට් සමගින් පළමු කඩුල්ලට ලකූණු 121 ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දුවාර 8.3 තුනක දීය. ශෝට් පන්දු 44 ක දී ලකුණු 76 ක් ලබා ගත් අතර, එරොන් ෆින්ච් පන්දු 14 ක දී නොදැවී ලකුණු 36 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දුවාර 20-20 ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹායාම මෙය ලෙසද වාර්තා වේ. එ් අනුව ඔස්ට්‍රේලියාව මේවනවිට තරගාවලියේ ක්‍රීඩා කළ තරග 4 ම ජය ගනමින් පෙරමුණේ රැඳී සිටී.