ඒකාබද්ධය ජනපති හමුවෙයි: සුසිල්, මහින්ද හමුවීමට යයි

ඒකාබද්ධය ජනපති හමුවෙයි: සුසිල් හිටපු ජනපති හමුවීමට යයි

by Staff writer 16-02-2018 | 12:55 PM
Colombo (Newsfirst) ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කරමින් සිටිති. අද උදෑසන කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනතුරුව ජනාධිපතිවරයා හමුවීමට පිටව ගියහ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අද පෙරවරුවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පාර්ශව කිහිපයක්ම පැමිණියේ ය. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අදත් අරලියගහ මන්දිරයට පැමිණියහ. අද උදෑසන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙලෙස අරලියගහ මන්දිරයට පැමිණි බව අප වාර්තාකරු පැවසුවේ ය.