මහේන්ද්‍රන් මෙතෙක් දිවයිනට පැමිණ නැතැයි තොරතුරු

අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් දිවයිනට පැමිණ නැතැයි තොරතුරු

by Staff writer 16-02-2018 | 7:58 AM
Colombo (Newsfirst) ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙතෙක් දිවයිනට පැමිණ නැතැයි තොරතුරු වාර්තා වේ. ඔහු ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබිණි. ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම මස 15 වන දාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන්නැයි කළ නියෝගය ද නොතකමිනි. පසුගිය 2 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් හරහා කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, විමර්ශන කටයුතු සඳහා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමේ අවශ්‍යතාවක් ඇති බව ය. ඒ අනුව ඊයේ දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය ජාත්‍යන්තර පොලීසිය හරහා අර්ජුන මහේන්ද්‍රන් මහතාට නියෝග කළේ ය. අර්ජුන මහේන්ද්‍රන් මහතා නිශ්චිත දිනට මෙරටට නොපැමිණිය හොත් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් මීට පෙර නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් නිව්ස්ෆස්ට් වීමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීමට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ය. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව අද යළි කැඳවීමට නියමිතව තිබේ.