අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන්

අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන්

by Chathuranga Rajapaksha 16-02-2018 | 4:17 PM
COLOMBO (Newsfirst) - මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 08 වැනිදාට පෙර දිවයිනට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා අද යළි නොතීසි නිකුත් කෙරිණි. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, එම නොතීසිය අධිවේගී තැපෑල සහ පෞද්ගලික ලිපි බෙදා හැරීමේ සේවයක් හරහා අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත යොමු කරන ලෙස ය. සිංගප්පුරුවේ ඔහුගේ ලිපිනයේ අර්ජුන මහේන්ද්‍රන් මහතා පදිංචිව සිටින බව මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ බව තහවුරු වී ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය හරහා සිදුකළ පරික්ෂණවලින් බව ද ඔහු සඳහන් කළේය. මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබුණි. නමුත් ඔහු එම ප්‍රකාශය ලබා දීම සඳහා දිවයිනට පැමිණියේ නැත.