ද. අප්‍රිකා ජනපති ජෙකොබ් සූමා ධූරයෙන් ඉවතට

ද. අප්‍රිකා ජනපති ජෙකොබ් සූමා ධූරයෙන් ඉවතට

by Hashini De Mel 15-02-2018 | 6:43 AM

COLOMBO (Newsfirst) - දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ය. ජෙකොබ් සූමාට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නැයි අප්‍රිකානු පාලක පක්ෂය බල කර සිටියේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ය. 1999 වසරේ සිට 2005 වසර දක්වා කාලය තුළ දකුණු අප්‍රිකාවේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෙකොබ් සූමා 2009 වසරේදී එරට ජනාධිපති ධූරයට පත් විය. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඔහුට දූෂණ චෝදනා රැසක් එල්ල විණි. ජෙකොබ් සූමා ගේ දූෂණ ක්‍රියාවලියට ඝෘජුව සම්බන්ධ යැයි සැළකෙන එරට ප්‍රබල ප්‍රභූ පැලැන්තියක් වන ගුප්තා පවුලේ නිවසක් ද ඊයේ වටලනු ලැබුවේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය රහස් රාජ්‍ය කොන්ත්‍රාත් මෙන් ම කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සහ අමාත්‍යවරුන් ධූරයෙන් නෙරපීමේ බලය ද ජෙකොබ් සූමා, ගුප්තා පවුලට පවරා තිබූ බවයි. අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජෙකොබ් සූමාට ධූරයෙන් ඉවත් වන්නැයි බල කළේ, ඔහුට එරෙහිව එල්ල වන චෝදනා දිනෙන් දින ඉහළ යාමත් සමග වේ. එහෙත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සූමා තවදුරටත් ජනාධිපති ධූරයේ රැදී සිටියේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ චෝදනා අභියෝග කරමිනි. එහෙත් එල්ල වන බලපෑම් හමුවේ තමා ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව, ජෙකොබ් සූමා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ය.