ජෙකොබ් සූමාගේ ජනපති පුටුව රමපෝසාට

ජනපති සූමා හැර ගිය පුටුවේ අයිතිය රමපෝසාට

by Sagarika Chathumali 15-02-2018 | 10:19 PM

දකුණු අප්‍රිකානු නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු උප ජනාධිපති සිරිල් රමපෝසා පත්කර තිබේ.

ඒ දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජෙකොබ් සූමා දූෂණ චෝදනා එල්ල වීම හමුවේ ජනමතයට ගරු කරමින් ජනපති ධූරයෙන් ඉවත් වීම හේතුවෙනි. ඡන්ද විමසීමකින් තොරව එරට ප්‍රධාන විනිසුරුවරයා විසින් නව ජනාධිපතිවරයා පත් කරනු ලැබ ඇති බව විදෙස් වාර්තවන්හි සඳහන් ය. අද ධුරයෙන් ඉල්ලා අස් වූ ජෙකොබ් සුමා අප්‍රිකානු ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් පළමු වරට දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වූයේ 2009දී ය. 2014 දී ඔහු යළිත් වරක් ජනපති පුටුව හිමි කරගත්තේ ය. කල්ක්‍රියාව යහපත් නොවූ බැවින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනා 9 ක් ගෙන ආ නමුත් ඉන් එකකින් හෝ ඔහු පරාජය නොවී ය. ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුට විපක්ෂයෙන් එල්ල වූ බලපෑම අඛණ්ඩව සිදු වූ අතර , 12 වනදා අප්‍රිකානු ජාතික කොංග්‍රසය රැස්ව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය . ධුරය අත්හැරිමට සූමාට බලකිරීම මුඛ්‍ය පරමාර්ථය වූ හමුවෙන් පසු ,පාලක පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජනපතිගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළේ ය. මීට පෙර කළ යුතුව තිබූ ඉල්ලා අස් වීම වහා ම සිදු කරන ලෙස ත් , එසේ නොකළ හොත් නැවත වරක් විශ්වාස භංගයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ත් , එය අනිවාර්යයෙන් අවසන් වන්නේ අන්ත පරාජයකින් බවත් එරට පාලක පක්ෂය ,සුමාට දැනුම් දුන්නේ ය. නියමිත කාලයට පෙර මැතිවරණයකට යා යුතු බව පවසමින් , උප ජනපති සිරිල් රම්පෝසා ප්‍ර‍මුඛ අප්‍රිකානු ජාතික කොංග්‍ර‍සය කළ ඉල්ලීමට ජෙකොබ් සූමා පිළිතුරු දුන්නේ ඊයේ රාත්‍රියේයි. හදිසියේ ජනමාධ්‍ය කැඳවූ ජනපතිවරයා සිය තීන්දුව ප්‍ර‍කාශ කළේ ය. එම ඉල්ලා අස්විම , අප්‍රිකානු ජාතික කොංසය හා විපක්ෂය ලද ඓතිහාසික ජයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර අප්‍රිකානු ජාතික කොංසය පවසන්නේ 2019 මහමැතිවරණයට පෙර සිදුවූ මේ දේශපාලන පෙරළිය රටට සුබවාදී අයුරින් යොදාගන්නා බවයි.

සූමාට එල්ල වූ චෝදනා...

75 හැවිරිදි දකුණු අප්‍රිකා ජනාධිපති ජෙකොබ් සූමාට එරෙහිව පසුගිය වසරේ ,දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණේ ඩොලර් මිලියන 23 ක මුදලක් අවභාවිත කිරිමේ චෝදනා හේතුවෙනි. පෞද්ගලික නිවසක් නවිකරණය කිරීමට රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් භාවිත කිරිම සම්බන්ධව ඔහුට දිගින් දිගටම චෝදනා එල්ල විය. ඒ අනුව ඔහුට නඩු පැවරුණු අතර , 2016 වසරේ අප්‍රේල් මාසයේදී ,අධිකරණය තිරණය කළේ ජනපති ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවයි. ජනතා මුදලින් ඔහු නවීකරණය කළ නිවසට අයත් පිහිනුම් තටාකය , රංග ශාලාව ,අමුත්තන්ගේ අංගනය ,සතුන් ගාල් කර තබන ස්ථානය යන කොටස් සඳහා වැය වූ මුදල් නැවතත් ලබා දිය යුතු බව අධිකරණය තීරණය කළේ ය. රාජ්‍ය භාණ්ඩාගාර මුදල් අවභාවිත කිරීමට අමතරව මුදල් විශුද්ධිකරණය හා වංචා හා දූෂණ චෝදනා ද ජනාධිපතිවරයාට එල්ල වූයේ ඔහුට එරෙහි නඩු සංඛ්‍යාව දහස දක්වා ඉහළ දමමිනි. ඊට අමතරව , අප්‍රිකාවේ ජිවත් වන ඉන්දියානු , ධනවත් පවුලක් වන ගුප්තා පවුල සමග සමිප සම්බන්ධතා පවත්වන්නේ යැයි පවසමින් සූමාට තවත් චෝදනාවක් එල්ල විය. අජේ, අතුල්, රාජේෂ් නැමැති ගුප්තා පවුලේ සහෝදරයින් සතු , පතල් , මාධ්‍ය ආයතන ,ගුවන් ගමන් සේවා , තාක්ෂණික සේවා වැනි ව්‍යාපාර වල අතරින් පතර ජේකොබ් සුමාගේ නම ද ගෑවී තිබූ බව නොරහසකි. ගුප්තා පවුලේ පතල් ව්‍යාපාරයකට සුමාගේ එක් බිරිඳකගේ නම ඈඳී තිබු අතර , තවත් ව්‍යාපාර කිහිපයකට ම , ඔහුගේ දියණියක හා පුතෙකු සම්බන්ධ වී තිබු බව ද හෙළි විය. මෙම රහස් සබඳතා පිළිබඳව ප්‍ර‍සිද්ධියේ කිසිවක් නොකීමට වග බලා ගත් ජනපතිවරයා , සැමවිටම පැවසුවේ තමා නිර්දෝෂී බවයි.