COLOMBO (Newsfirst) :
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන මස ආරම්භ වීමට නියමිත ය. ඊට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනීමේ තරගාවලි කිහිපයක් පසුගිය දා පැවති අතර එහි ලීග් කොටසේ දෙවැනි තරගාවලිය කෙරෙහි ක්‍රිකට් විචාරකයන්ගේ වැඩි අවධානය යොමු ව ඇත.
ක්‍රිකට් ලොව වැඩි අවධානයක් නොලබන කණ්ඩායමක් වන නේපාල කණ්ඩායම ලැබූ ජයග්‍රහණය හේතුවෙන් එය විශේෂ තරගයක් ලෙස අවධානයට ලක්ව තිබේ. මින් ඉහත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි කිහිපයකට ම සහභාගීවී ඇති දෙවැනි පෙළ කණ්ඩායම් අතර ප්‍රබල කණ්ඩායමක් වන කැනඩාව පරාජය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සුදුසුකම් ලබා ගැනීමට නේපාලය සමත්විය.
පරාජයේ දොරටුව වෙත පියනගා සිටි නේපාල කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් දෙදෙනා ලකුණු 51 ක සබඳතාවක් වාර්තා කරමින් සිය කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ.
සන්ධිප් ලමිච්හාන් (Sandeep Lamichhane) හා කේ. සී. කරන් (Karan KC) මෙම ඓතිහාසික අවස්ථාව සලසා දී ඇත.
තරගයෙන් පසුව සිය ජයග්‍රහණය සමරමින් නේපාල කණ්ඩායම් නායක පරාස් කඩ්කා (Paras Khadka) පවසා ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතබව හා සුන්දරත්වය විඳ ගැනීමට අවස්ථාව හිමිවූ බවයි.
"මට කතා කරගන්න බෑ. අවසන් කඩුල්ලට ලකුණු 50 ක සබඳතාවක් ලැබුණ. අද ජයග්‍රාහකයා ක්‍රිකට් ක්‍රීඩාවයි." - පරාස් කඩ්කා
තරගයෙන් පසුව නේපාල කණ්ඩායම ජයග්‍රහණය සැමරූ ආකාරය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ට්විටර් ගිණුම හරහා පළ කර තිබුණේ මේ ආකාරයටයි.
"කැනඩාව වගේ රටක් පරාජය කිරීමට ලැබෙන්නේ, තරග මිලියනයකට එක් වරක් පමණක් විය හැකියි. මෙය අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ විශාල ජයග්‍රහණයක්. පසුගිය කාලය පුරාම අප මෙවන් ජයග්‍රහණයක් ලබා ගැනීමට සිහින දැක්කා. මට කිසිවක් සිතාගන්න බැහැ." - පරාස් කඩ්කා
කැනඩාව පන්දුවාර 50 ක දී ලබා දුන් ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය නේපාලය කණ්ඩායම, තරගය අවසන් වීමට පන්දුවාර 7 පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 144 කි.
ඒ අනුව නේපාලයට ජයග්‍රහණය පහසු කාර්යයක් වූයේ නැහැ.
නමුත් අවසන් පිතිකරුවන් දෙදෙනා නේපාල කණ්ඩායමට එම ඓතිහාසික අවස්ථාව හිමිකරදීමට සමත්විය.
දරුණු භූ කම්පනයකින් පසුව නැගී සිටි නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිබිදීමට එරට ක්‍රිකට්ලෝලීන්ගෙන් විශාල පිටිවහලක් ලැබිණ.
වැටුණු රට යළි ගොඩ නැගීම සඳහා එරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද විශාල සහයක් ලැබුණු බවට විචාරක මතය වී ඇත.
https://cricketaustralia-a.akamaihd.net/rtmp/807051129001/201506/807051129001_4306877057001_Nepal-Edit-3.mp4