ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් - නිලානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

by Nadeeshan Meedin 14-02-2018 | 7:55 PM

COLOMBO (Newsfirst) –  ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ  මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූවාය.

ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ මිනිත්තු 9.55.59 ක කාලයක් වාර්තා කරමිනි. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක එම ඉසව්ව මිනිත්තු 10 ට අඩු කාලයකින් නිම කළ පළමු අවස්ථාව ලෙස ද වාර්තා වෙයි. නිලානි රත්නායක මීට පෙර මීටර් 1500 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මේ අතර, මීටර් 3000 බාධක දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ආර්. එම්. එස් පුෂ්පකුමාර සමත්විය. ඔහු එහිදී වාර්තා කළ කාලය මිනිත්තු 8:59.70  කි. ඊට අමතරව මීටර් 100 සහය දිවීමේ පිරිමි කණ්ඩායම රිදී පදක්කම හිමි කර ගත් අතර, මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. මීටර් 800 කාන්තා ඉසව්වේ දී නිමාලී ලියනාරච්චි රිදී පදක්කම දිනා ගනිද්දී, ලොකඩ පදක්කම හිමිවුණේ ගයන්තිකා අබේරත්නට යි. තුන්පිම්ම ඉසව්වේදී සංජය ජයසිංහට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

මීට පෙර ලබා සිටි පදක්කම්

මීටර් 100 - විනෝජ් සුරංජය - රන් මීටර් 400 - තරුෂ ධනංජය - රන් හෙල්ල විසිකිරීම (කාන්තා) - නදීශා දිල්හානී - රන් හෙල්ල විසිකිරීම - සම්පත් රණසිංහ - රිදී දශ ප්‍රයාම - අජිත් කරුණාතිලක - රිදී මීටර් 1500 - නිලානී රත්නායක - රිදී තුන්පිම්ම - විදූෂා ලක්ෂානි - රිදී තුන්පිම්ම - හෂිනි ප්‍රබෝදා - ලෝකඩ මීටර් 400 - දිලිප් රුවන් - ලෝකඩ මීටර් 5000 - ආර්.එම්.එස්. පුෂ්පකුමාර - ලෝකඩ දුර පැනීම - ප්‍රසාද් විමලසිරි - ලෝකඩ මීටර් 400 - උපමාලිකා රත්න කුමාරි - ලෝකඩ