විශ්වාසය දිනාගත් අයෙක් අගමැති කළ යුතුයි

විශ්වාසය දිනාගත් අයෙක් අගමැති කළ යුතුයි

by Hashini De Mel 14-02-2018 | 9:01 PM

COLOMBO (Newsfirst) - පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය සහ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කර නව රජයක් පිහිටුවිය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.

මේ ඉල්ලීම ඇතුළත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත්තේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ය. ඇතැම් අමාත්‍යංශ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගනු ලැබු සමහර තීරණ පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවක් නොතිබුණ ද සාමුහික වගකීමට මැති ඇමතිවරුන් ගරු කළ බව ද මෙහි සඳහන් ය. වංචා මැඩලීම වෙනුවට බැඳුම්කර වංචාව වැනි දේ සිදු වූ අතර ඒවා අග්‍රාමාත්‍යවරයාගේ දැනුම මත සිදු ව ඇති බව රටට රහසක් නොවන වග ද මෙම ලිපියේ දැක්වා තිබේ. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල, වර්තමාන ජනමතය පිළිබිඹු කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන්වේ. එබැවින් එක්සත් ජාතික පක්ෂය ලැබු ඡන්ද සංඛ්‍යාව මත අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ තවදුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම අප පක්ෂයට එකඟ විය හැකි කරුණක් නොවන බව ද ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර ඇත. ඔහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කර නව රජයක් පිහිටුවිය යුතු යැයි අදහස් කරන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව ලබා දෙන ලෙසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1842235375836712/