ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 4 ක්

නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් - දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක්

by Nadeeshan Meedin 14-02-2018 | 7:41 AM

COLOMBO (Newsfirst) –  ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආරාධිත ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා දිල්හානී ක්‍රීඩිකාව සමත් වූවා ය.

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඇය මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 55.13 කි. පසුගිය වසරේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගත් ඇය පසුගිය දා මෙරට පැවති තේරීම් තරගාවලියේදී සිය උපරිම දක්ෂතාව දක්වමින් මීටර් 55.41 ක දස්කමක් දැක්වීය. මෙහිදී තුන්පිම්ම කාන්තා ඉසව්වෙන් ද පදක්කම් යුගලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දීමට විදූෂා ලක්ෂානි හා හෂිනි ප්‍රබෝධා සමත් වූහ. තුන්පිම්ම ශ්‍රී ලංකා වාර්තාව හිමි විදූෂා මීටර් 13.28 ක දස්කමක් දක්වමින් රිදී පදක්කම හිමි කරගත් අතර, හෂිනී ප්‍රබෝදා බාලසූරිය මීටර් 12.98 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය. ඔවුන් දෙදෙනාට අමතරව සචින්තා දුලංජලී ද එම ඉසව්වට සහභාගී වුවත්, මීටර් 12.41 ක දක්ෂතාවක් දැකවූ ඇයට හිමිවූයේ පස් වන ස්ථානය යි. මේ අතර, මීටර් 5000 ඉසව්වට සහභාගී වූ ආර් එම් එස් පුෂ්පකුමාර 2015 වසරෙන් පසුව මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත් ම කාලය වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත්විය. මිනිත්තු 14:34.86 ක දක්ෂතාව ඔහුගේ පුද්ගලික හොඳ ම කාලය ලෙස ද වාර්තා වේ. මේ අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට රන් පදක්කම් 3 ක් ඇතුළුව පදක්කම් 12 ක් දිනා ගැනීමට සමත්ව සිටියි.

එම පදක්කම් සටහන මෙසේ ය.

මීටර් 100 - විනෝජ් සුරංජය - රන් මීටර් 400 - තරුෂ ධනංජය - රන් හෙල්ල විසිකිරීම (කාන්තා) - නදීශා දිල්හානී - රන් හෙල්ල විසිකිරීම - සම්පත් රණසිංහ - රිදී දස ප්‍රයාම - අජිත් කරුණාතිලක - රිදී මීටර් 1500 - නිලානී රත්නායක - රිදී තුන්පිම්ම - විදූෂා ලක්ෂානි - රිදී තුන්පිම්ම - හෂිනි ප්‍රබෝදා - ලෝකඩ මීටර් 400 - දිලිප් රුවන් - ලෝකඩ මීටර් 5000 - ආර්.එම්.එස්. පුෂ්පකුමාර - ලෝකඩ දුර පැනීම - ප්‍රසාද් විමලසිරි - ලෝකඩ මීටර් 400 - උපමාලිකා රත්න කුමාරි - ලෝකඩ