කවුද මේ වැලන්ටයින් ?

කවුද මේ වැලන්ටයින් ?

by Staff writer 14-02-2018 | 3:45 PM
Colombo (Newsfirst) පෙබරවාරි 14 වන දා තරුණ තරුණියන් කවුරුත් දැඩි උනන්දුවක් දක්වන දිනයකි. ඒ, වැලන්ටයින් දිනය හේතුවෙනි. ලොව පුරා සිටින සෑම පුද්ගලයෙකු ම පාහේ මෙම දිනය මහත් උනන්දුවෙන් සමරන්නේ තම ආදරණීයයන්ට විශේෂ ත්‍යාග පිරිනමමින් සිය ආදරය ප්‍රකාශ කරමිනි. අද වන විට වැලන්ටයින් දිනය වාණිජකරණය වී ඇති බවක් ද පෙනී යයි. මක්නිසාදයත් මෙම දිනය වෙනුවෙන් ම සැකසුණු විශේෂ තිලිණ වෙළෙඳපොළ තුළ තිබීම යි. මේ වන විට වාණිජකරණය වී තිබුණ ද වැලන්ටයින් දිනය පිළිබඳව අපූරු ඉතිහාසයක් තිබේ. එය 3 වන සියවස දක්වා දිව යයි. මෙම දිනය නම් කර තිබෙන්නේ, 3 වන සියවසේ රෝමයේ ජීවත් වූ කතෝලික පූජකවරයෙකු වන ශාන්ත වැලන්ටයින් නමිනි. වැලන්ටයින්ගේ කාලය තුළ රෝමානු වැසියන් රැසක් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සිදු විණි. එම කාලයේ සිටි 2වන ක්ලෝඩියස් අධිරාජ්‍යයා දැඩි මිථ්‍යාදෘෂ්ටිකයෙකු වූ අතර ඔහු රෝම සොල්දාදුවන් ක්‍රිස්තියානි භක්තිකයින් සමග විවාහ වීම තහනම් කරමින් නීති පැනවිය. මේ හේතුවෙන් ශාන්ත වැලන්ටයින් පූජකවරයා එම සොල්දාදුවන් රහසිගත ක්‍රිස්තියානි උත්සවවලදී විවාහ කළේ ය. මේ නිසා ආදරයේ වැදගත්කම සහ විශ්වාසය සම්බන්ධයෙන් වැලන්ටයින් පූජකවරයාගේ කීර්ති නාමය පැතිරීම පටන් ගැනිණි. ක්ලෝඩියස්ට එරෙහිව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණු වැලන්ටයින්, සිරගතව සිටියදී සිරකරුවන්ගේ රෝග සුවපත් කර තිබේ. එමෙන් ම බන්ධනාගාරගතව සිටින අවධියේදී එහි ජේලර්වරයාගේ අන්ධ දියණියගේ අන්ධභාවය සුවපත් කිරීමට වැලන්ටයින් පූජකවරයා සමත් වූ බව ජනප්‍රවාදයේ පවතී. වර්ෂ 269 පෙබරවාරි 14 වන දා ශාන්ත වැලන්ටයින් ඝාතනය කරන ලදී. වැලන්ටයින් ඝාතනය කර වසර 200කට වඩා වැඩි කාලයකින් පසුව පෙබරවාරි 14 වැලන්ටයින් දිනය ලෙස නම් කරන ලදී. මෙම කාලය වන විට රෝමය ක්‍රිස්තියානිකරණය වී තිබුණු අතර ඒ වන විට රෝමයේ තිබුණු මිථ්‍යාදෘෂ්ටිකත්වය නැති කිරීම සඳහා කතෝලික පල්ලි කටයුතු කළේ ය. මේ අතර සෑම වසරක ම පෙබරවාරි මාසයේ මිථ්‍යාදෘෂ්ටික පූජාවක් එවක පැවති අතර පාප් වහන්සේ විසින් එය අවලංගු කර පෙබරවාරි 14 වන දා වැලන්ටයින් දිනය ලෙස නම් කරනු ලැබී ය. මෙලෙස ඇරඹුණු වැලන්ටයින් දිනය අද වන විට ලොව සෑම පුද්ගලයෙක් ම පාහේ විවිධ අයුරින් සමරති.