කන්‍යාභාවය සෙවීමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා

කන්‍යාභාවය සෙවීමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා

by Staff writer 14-02-2018 | 11:55 AM
(Newsfirst) බටහිර ඉන්දියාවේ ගෝත්‍රික කණ්ඩායමක් තුළ ක්‍රියාත්මක වන කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ අමුතු සහගත චාරිත්‍රයකට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වේ. මෙහිදී 22 හැවිරිදි වියේ පසු වන ඇනීටා ඇය මුහුණ දුන් අපහසුතා පිළිබඳව විග්‍රහ කළා ය. ඇය පැවසුවේ, මීට වසර 2කට පෙර ඇගේ විවාහ මංගලෝත්සවයේදී ඇය මුහුණ දුන් අපහසුතා සිහි වෙද්දී තවමත් දෑස් කඳුළින් පිරී යන බව ය. ලක්ෂ 2ක පමණ පිරිසකගෙන් සැදුම් ලත් කන්ජාබාත් ගෝත්‍රයට අයත් වන මෙම පිරිස මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී වැඩි වශයෙන් දැකගත හැකි ය. වසර 2කට පෙර පැවති ඇගේ විවාහ මංගලෝත්සවයේදී ඇයට ද කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ චාරිත්‍රයට මුහුණ දීමට සිදුව තිබේ. මෙම චාරිත්‍රය මගින් ස්වාමිපුරුෂයා සමග යුග දිවියට පැමිණෙන කාන්තාව ධාර්මික ද, එසේ නොවන්නේ ද යන්න පිළිබඳව නිගමනය කරයි. මෙම චාරිත්‍රය එම ගෝත්‍රය තුළ සිදුවන විවාහ උත්සවවලදී අනිවාර්යයෙන් සිදු විය යුතු අංගයක් වන අතර මෙය පංචායත් නමින් හඳුන්වන ගම් සභාව බලාත්මක කර තිබේ. මෙහිදී විවාහ දිවියට එළැඹෙන යුවළට සුදු රෙදි කඩක් ලබා දී ඔවුන්ව ගම් සභාව හෝ පවුලේ උදවිය විසින් කුලියට ගනු ලැබූ හෝටල් කාමරයක් වෙත රැගෙන යනු ලැබේ. විවාහක යුවළ සංසර්ගයේ යෙදෙන තුරු පවුලේ උදවිය හෝටල් කාමරයෙන් පිටතට වී රැඳී සිටින අතර දෙදෙනා අතර සිදු වන සංසර්ගයේදී මනමාලියගේ යෝනියෙන් රුධිරය වහනය වූයේ නම් ඇය කන්‍යාවක් ලෙස පිළිගැනෙන අතර එසේ නොවූයේ නම් ඇයට මහත් අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ. මෙම චාරිත්‍රයේදී බිරිඳ සිය පිරිසිදු භාවය ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් ස්වාමිපුරුෂයාට එම විවාහය අවලංගු කිරීමේ හැකියාව තිබේ. එමෙන් ම මෙහිදී ඇගේ පිරිසිදුභාවය පිළිබඳව ප්‍රසිද්ධියේ නින්දා සහගත අයුරින් ප්‍රශ්න කරන අතර ස්වාමිපුරුෂයාගේ පවුලට අගෞරවයක් කළා යැයි සලකා ඇගේ පවුලේ ඥාතීන්ට පහර කෑම්වලට පවා ලක් වීමට සිදු වෙයි.