ඇඟිලි කැත කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ලස්සන වෙයි ද?

ඇඟිලි කැත කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ලස්සන වෙයි ද?

by Staff writer 14-02-2018 | 2:01 PM

මෙරට ඕනෑ ම මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට යන සෑම අයෙකුගේ ම අතේ කළු පැල්ලමක් ඉතිරි වෙයි.

ඇතැම් විට මාස ගණනක් ගත වන තුරු මැකී නොයන එම පැල්ලම 'හොර ඡන්ද' වැළැක්වීම සඳහා භාවිත වන පරණ තාලේ උත්සහයකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයට මුවාවී අත් කැත කරන මේ ඇඟිලි කෝලම තවදුරටත් පවත්වාගෙන යා යුතු ද?

යම් ඡන්දදායකයෙකු තම ඇඟිල්ල පාට කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළහොත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකිරීමේ බලය මැතිවරණ නිලධාරීන්ට නීතියෙන් හිමිව තිබේ.

මේ වන විට මෙරට ඡන්ද හිමි නාම ලේඛන පරිගණකගත කර තිබේ. එහෙයින්, එක් පුද්ගලයෙකුට දෙතැනක ඡන්දය සඳහා ලියාපදිංචි වීමේ ඉඩ ඇහිරී ඇත. අනෙක් අතට, අතීතයේ මෙන් නොව වලංගු අනන්‍යතා පත්‍රයක් නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට දැන් අවසරයක් නොලැබේ. හොර හිත ඇති අයට පාට පැල්ලම මකා ගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඕනෑ තරම් අද විවෘත වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ඉඩකඩ තිබේ.

අනෙක් අතකින් බලද්දී ඡන්දය ප්‍රකාශ කිරීමට යන 99.9%කට ත් වැඩි සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන්ට 'හොරුන්' කිහිප දෙනෙකු නිසා අනිවාර්ය 'බොඩි පේන්ට්' (Body Paint) සැසියක් ලබා දීම කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ද?

ඇතැම් රටවල් වීසා නිකුත් කිරීමේදී ජෛව විද්‍යාත්මක දත්ත ලබා ගැනීම පිළිබඳව මෙරට මතුවූ විරෝධය අපේ මැතිවරණ නීතියේ ඇති මේ යල් පැන ගිය 'හණ ගැසීමට' එරෙහිව පළ නොවීම පුදුමයට කරුණකි.

- අසෝක ඩයස්