Colombo (Newsfirst)
පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේඛනයෙන් පත් වන නියෝජිතයින් නම් කිරීම සඳහා මැතිවරණ කොමිසම මගින් ලබා දෙන කොට්ඨාස පදනමේ මැතිවරණ ප්‍රතිඵල හා පත් විය යුතු නියෝජිත සංඛ්‍යාව තීරණය කළ පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබා දෙන නිර්ණායක මත ආසන සංවිධායක හා දිස්ත්‍රික් නායකයින්ගෙන් විමසා අදාළ මන්ත්‍රීවරුන් පත් කරන බව ය.
එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත් වූ නියෝජිතයින්ට නිශ්චිත උපදෙස් හා මග පෙන්වීමක් කරනු ලබන බව ද සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
මෙතෙක් පාලන බලය පිහිටුවීම සඳහා කිසිදු පාර්ශවයක් සමග එකඟතාවකට පත්ව නොමැති බව ද මහින්ද අමරවීර මහතා සිය නිවේදනයෙන් දන්වා තිබේ.