ප්‍රතිඵල ප්‍රමාදයට මැතිවරණ කොමිසම හේතු පහදයි

ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාදයට මැතිවරණ කොමිසම හේතු පහදයි

by Staff writer 11-02-2018 | 2:37 AM
Colombo (Newsfirst): පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාසවල ඡන්ද ගණන් කිරීම අවසන් වී ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් වෙත ෆැක්ස් හා දුරකතන හරහා ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම් භාර නිලධාරින්ට සිදුව ඇති බව ය. එමෙන් ම එකම කොට්ඨාසයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් සමහර ස්ථානවල තේරීම් භාර නිලධාරීන්ට ෆැක්ස් මගින් එවා ඇත්තේ, ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් නිසා සමස්ත ප්‍රතිඵලය සකස් කිරීමේදී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුවී ඇති බව ය. මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීම තවත් සැලකිය යුතු වේලාවක් ගත වනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි. මේ අතර පළාත් පාලන ආයතනයකම කොට්ඨාසවල ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් විසින් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.