අවසන් ප්‍රතිඵලය එන්න තවත් ප්‍රමද වෙයි

අවසන් ප්‍රතිඵලය එන්න තවත් ප්‍රමද වෙයි...?

by Sagarika Chathumali 11-02-2018 | 2:58 PM
COLOMBO (Newsfirst) : පළාත් පාලන මැතිවරණයේ සියලු ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තවත් 100කට අධික පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල නිකුත් කිරීමට ඇති බවයි. බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන මට්ටමේ ප්‍රතිඵල හා තැපැල් ඡන්ද ප්‍රතිඵල වගුගත කිරීමේ ස්ථානයට ලබාදීමේ ප්‍රයෝගික ගැටලු ඇති වී ඇති හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය ස්වයං ජනන ක්‍රමවේදය හරහා සිදු කිරීමට අපහසු වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. මේ අතර පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාසවල ඡන්දය ගණන් කිරීම අවසන් වී ෆැක්ස් සහ දුරකථනය හරහා ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් වෙත ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුව ඇති බවයි. එක ම කොට්ඨාසයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් ඇතැම් ස්ථානවල තේරීම් භාර නිලධාරීන්ට ෆැක්ස් මගින් එවා ඇත්තේ ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එය සමස්ත ප්‍රතිඵලය සකස් කිරීම්දී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුවූ හෙයින් ඒ ඒ පළාත් පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තවත් සැලකිය යුතු වේලාවක් ගත වූ බව එම නිවේදනයේ සඳහන් ය. එහි දැක්වෙන්නේ එමෙන් ම පළාත් පාලන ආයතනයක සියලූ ම කොට්ඨාසවල ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.