2018 පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි

2018 පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි

by Hashini De Mel 10-02-2018 | 7:04 AM

COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 ට ආරම්භ විය.

පස්වරු 4.00 ට ඡන්ද විමසීම අවසන්වීමට නියමිත වේ. ඡන්දදායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ හැටදහස් අටසිය හැට දෙකක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනු ඇත. අද දින පැවැත්වෙන ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 340කට සභිකයින් 8,356 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත වේ. මෙවර පළාත් පාලන ඡන්දයට තරගවදින අපේක්ෂකයින් ගණන 57,252කි. ඔවුන් මහනගර සභා 24 ක්, නගර සභා 40 ක් සහ ප්‍රාදේශීය සභා 276 ක් සඳහා තරග වදිනු ඇත. අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මධ්‍යස්ථාන 13, 374 කදී ය. ප්‍රථමවරට මිශ්‍ර ක්‍රමයට පවත්වන 2018 පළාත් පාලන මැතිවරණයේදී සැළකිය යුතු වෙනස්කම් කිහිපයක් ම සිදු කර තිබේ. ඒ අනූව පළාත් පාලන ආයතන සංඛ්‍යාව සහ සභික ධූර සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335 ක් වන අතර එය 341 දක්වා වැඩිවී තිබේ. පොළොන්නරුව මහනගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා අලුතින් එකතුවීම ඊට හේතු විය. එහෙත්, ජනවාරි 30 වන දා නාම යෝජනා ගැටලුවක් මත, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. අදාළ අතුරු තහනම නඩුව විභාගකර අවසන් වන තෙක් ක්‍රියාත්මක බැවින් අද ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්ද විමසීම සිදු නොවනු ඇත. ඒ අනුව අද ඡන්ද විමසීම සඳහා සළකා බැලෙන්නේ පාළාත් පාලන ආයතන 340 ක් පමණි. එමෙන්ම, මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ ගොස් පවති. ඒ අනූව වැඩි වූ සභික ධූර ගණන 3870 ක් වේ. නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 60%ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයට ද ඉතිරි 40% සමානුපාතික ක්‍රමයට ද තෝරා පත් කර ගැනීමට නියමිත ය. මේ අතර ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දදායකයාට හිමිවන ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන්නේ, ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නම් හා ඒවායේ ඡන්ද ලකුණු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, කොට්ඨාසවල නම් සහ අංක අපේක්ෂකයින්ගේ නම් යනාදී කිසිවක් ඡන්ද පත්‍රිකාවල සඳහන් නොවන බවයි. ඔබ කැමැති පක්ෂය / ස්වාධීන කණ්ඩායමේ නම සහ සළකුණ සඳහන් තීරුවේ ඡන්ද සළකුණට දකුණු පසින් වූ හිස් කොටුවේ එකම එක කතිරයක් ( X ) පමණක් යෙදීමෙන් ඔබගේ ඡන්දය සළකුණු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය. ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්දදායකයින්ට දැනුම් දෙන්නේ, පස්වරු 4.00 දක්වා බලා නොසිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ය.