ඡන්දයට අදාළ බරපතළ සිදුවීම් කිසිවක් නැහැ..

බරපතළ සිදුවීම් කිසිවක් නැහැ, ඡන්දය සාමකාමීයි..

by Sagarika Chathumali 10-02-2018 | 8:16 PM
COLOMBO (Newsfirst) : අද පැවති පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව බරපතළ සිදුවීම් වාර්තා නොවුණු අතර ඇතැම් ස්ථානවල ඡන්ද නීති කඩකිරීම් කිහිපයක් පමණක් වාර්තා විය. නාවලපිටිය සෙම්රොක්වත්ත ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පොදුජන පෙරුමුණේ ඡන්දපොළ නියෝජිතයාට තියුණු ආයුධයකින් පහර දී තිබේ. අප වාර්තාකරු පැවසුවේ දෑත් තුවාල වීම නිසා ඔහු නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බවයි. නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන මෙම පුද්ගලයාට සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට ද රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබිණ. මේ අතර මහනුවර වටදෙණිය, අප්පල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ඡන්ද පත්‍රිකාවේ ඔහු මියගොස් ඇති බව සටහන්ව තිබිණ. ඡන්දය භාවිත කිරීම සඳහා මෙම පුද්ගලයා වටදෙණිය විජයලංකා කනිෂ්ඨ විදුහලට ගිය අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබේ. මැතිවරණ කාල සීමාව තුළ ප්‍රචාරණ කටයුතු තහනම් වුවත් නීති විරොධී ලෙස මැතිවරණ ලකුණු ප්‍රදර්ශනය කිරීම්, පත්‍රිකා බෙදා හැරීම් වැනි සිද්ධීන් පුත්තලම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් වාර්තා විය. මේ අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන්නැයි සඳහන් කර, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ අත්සන සහිතව ලිපියක් මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධියක් අකුරුස්ස ප්‍රදේශයෙන් වාර්තා විය. මේ පිළිබඳව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා දික්වැල්ල පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ. සිද්ධිය සම්බ්න්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරල්ලෙරුම මහතා බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට දෙවන දිනටත් අද සත්‍යග්‍රහයේ නිතර විය. ඒ සිය ආධාරකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බ්න්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමිනි.