ගීතයක සැබෑ හිමිකාරීත්වය කාට ද?

ගීතයක සැබෑ හිමිකාරීත්වය කාට ද? - කුජගේ විග්‍රහය

by Staff writer 10-02-2018 | 5:22 PM
ගීතයක හිමිකාරීත්වය සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතවාදමය තත්ත්වයක් මෙරට තුළ උද්ගත වී තිබේ. මීට පෙර සංගීත නිර්මාණ ශිල්පීන්, පද රචකයින් සහ ගායන ශිල්පීන් තුන් පත් රෑනක් සේ එකට බැඳී සිටිය ද මුදලෙහි බලය ඉස්මතු වී මේ පාර්ශව තුන එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සිටීම ජාතියේ අභාග්‍යයකි. ගීතයක අයිතිය සංගීත නිර්මාණකරුවා, පද රචකයා සහ ගායකයා යන පාර්ශව තුනට ම අයත් බවට මෙතෙක් පිළිගැනිණි. ගායන ශිල්පියාට ගීතයේ අයිතියක් හිමි බව එච්. ආර්. ජෝතිපාලගේ සහ තවත් ගායකයින් කිහිප දෙනෙකුගේ නිර්මාණ සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුවලින් ද තහවුරු වී තිබේ. කෙසේ වෙතත්, තනු නිර්මාණකරු සහ පද රචකයා පමණක් ගීතයේ අයිතිය උසුළන බවට මතවාදයක් මේ වන විට මතුව ඇත. ඒ අනුව, තනු නිර්මාණකරුවන් සහ පද රචකයින් තර්ක කරනුයේ ගීතය ගයමින් ගායකයා මුදල් උපයන බැවින් ඔහු උපයන මුදලින් කොටසක් තමන්ට හිමි විය යුතු බවට ය. මේ වන විට ප්‍රවීණ ගායකයින් කිහිප දෙනෙකු ගැයූ ගීතවලට ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ. ගායකයා ගීත ගයමින් මුදල් උපයන බව සැබෑවකි. එහෙත්, තනු නිර්මාණකරු සහ පද රචකයා වෙහෙස වනුයේ එක් වරක් පමණි. ගායකයා මුදල් උපයනුයේ ගීත යළි යළිත් ගැයීමෙනි. අනෙක් අතට, ගායකයෙකු ගීතයක් නොගයා සිටී නම් තනු රචකයාට සහ පද රචකයාට සිය නිර්මාණ හමස් පෙට්ටියේ තබාගෙන උඩ බලාගෙන සිටිනු හැර කළ හැකි අන් යමක් නැත. මේ හේතුවෙන්, ගායකයාට ගීයක අයිතිය හිමි නැති බවට තර්ක කිරීම යුක්ති යුක්ත නොවේ. තව ද, යම් ගායකයෙකු පෙර ගයන ලද අවස්ථාවලට අදාළව වන්දි මුදල් ඉල්ලීම ද සාධාරණ නැත. ඉදිරියේදී මුදල් උපයන අවස්ථා වෙනුවෙන් යම් කොටසක් ගායකයා සමග ඇති කරගන්නා ගිවිසුමක් මත ලබා ගැනීමේ හැකියාව සෙසු නිර්මාණකරුවන්ට තිබේ. මෙම අර්බුදය හොඳින් අවසන් නොවුණහොත් ගායකයින් තමන්ගේ පද රචනා ගැයීමට යොමු වනු ඇත. එය ගීතවල සාහිත්‍යමය අගය හීන වීමට බලපානු ඇත.
  • කුජගේ විග්‍රහය