ගිනිගත් උතුර - දකුණ ශීත ඔලිම්පික් නිසා සිසිල් වෙයි

ගිනිගත් දෙරටක විරසකයට සිසිලස කැන්දූ ශීත ඔලිම්පික්

by Sagarika Chathumali 10-02-2018 | 5:48 PM
COLOMBO (News1st) : සිය රටේ සංචාරයක නිරත වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ට ආරාධනා කර තිබේ. ඒ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින්, දකුණු කොරියානු ජනාධිපති  ,උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ සොයුරිය හමු වූ අවස්ථාවේදීයි. දකුණු කොරියාවේ සෝල් අගනුවර ජනාධිපති මන්දිරයේදී පැවති එම හමුවට උතුරු කොරියානු නාමමාත්‍රික නායක කිම් යොන්ග් නාම් ද සහභාගී වූ අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ආරාධනාව ඔහුගේ සොයුරිය විසින් දකුණු කොරියානු ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබ තිබේ. උතුරු කොරියානු නායකයා හැකිතාක් ඉක්මනින් දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවීමට කැමැත්තෙන් පසුවන බව ද එම ආරාධනයේ වැඩිදුරටත් සඳහන් ය. 1950 දශකයේ කොරියානු යුද්ධයෙන් පසුව උතුරු කොරියාවෙන් ජ්‍යේෂ්ඨතම රාජතාන්ත්‍රිකයින් පිරිසක් දකුණු කොරියාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙල, දකුණු කොරියාවේදී පැවැත්වෙන අතර එය ඊයේ ආරම්භ විය.