මැතිවරණ රාජකාරි මග හැරියොත් වැඩ වරදී

මැතිවරණ රාජකාරි මග හැරියොත් වැඩ වරදී

by Chathuranga Rajapaksha 09-02-2018 | 9:56 PM
COLOMBO (Newsfirst) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරි සඳහා යොදවා සිටින විවිධ හේතු ඉදිරිපත් කරමින් සේවයට වාර්තා නොකරන රජයේ නිලධාරින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිසම නිවේදනය කළේ, මැතිවරණ කොමිෂන් සභාවේ විධාන අනුව ක්‍රියා කිරිමට සියලුම රාජ්‍ය නිලධාරින් බැඳී සිටින බව ය. මැතිවරණ කොමිෂන් සභාවේ විධාන උල්ලංඝනය කිරීම රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසර 03ක සිර දඬුවමකට හෝ එකී දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම යටත්වීමට හේතුවන වරදක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 104 උ ව්‍යවස්ථාවේ නිශ්චිතවම සඳහන් කර ඇති බව ද මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේය. හෙට පැවැත්විමට නියමිත පළාත් පාලන ආයාතනය ඡන්ද විමසීම් රාජකාරි සඳහා යොදවා සිටින ඇතැම් රජයේ නිලධාරීන්, සේවකයින් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණිමෙන් වැළකී සිටිමට උත්සාහ කරන බවට ලැබුණු තොරතුරු මත මේ පිළිබඳව අවධාරණ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.