මැතිවරණය සාමකාමීව පැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක්

මැතිවරණය සාමකාමීව පැවැත්වීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 09-02-2018 | 6:53 AM
Colombo (Newsfirst) පළාත් පාලන මැතිවරණය සාමකාමීව පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. මැතිවරණයට ඇති සූදානම සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය. පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති සියලු පැමිණිලි විභාග කර ඇති බව ය. තෝරා ගත් ඇතැම් ප්‍රදේශවලට විශේෂ පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, මැතිවරණ රාජකාරී සම්බන්ධයෙන් නිශ්චිත උපදෙස් මාලාවක් සියලු නිලධාරීන්ට අද ලබාදෙන බව ය. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ආරක්ෂක රාජකාරී මීට ටික වේලාවකට පෙර ආරම්භ කළ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සියලු පොලිස් නිලධාරීන් අදාළ රාජකාරී ස්ථාන වෙත යොමු කර ඇති බව ය. දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ජංගම සේවා 100කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.