මාලදිවයිනේ අර්බුදයට එක්සත් ජාතීන් මැදිහත් වන ලකුණු

මාලදිවයිනේ අර්බුදයට මැදිහත් වීමට එ.ජා. ආරක්ෂක මණ්ඩලය සැරසෙයි

by Staff writer 08-02-2018 | 7:37 AM
Colombo (Newsfirst) මාලදිවයිනේ දේශපාලන අර්බුදයට මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මාලදිවයිනේ දේශපාලන අර්බුදය පිළිබඳව අද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී මාලදිවයිනේ දේශපාලන අර්බුදය පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ කමිටුවකට පැවරෙනු ඇති බව ය. මාලදිවයිනේ දේශපාලන අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කියා සිටියේ ය. මාලදිවයිනට පනවා ඇති හදිසි තත්ත්වය නිමා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරේස් මීට පෙර මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන්ගෙන් ඉල්ලා සිටියේ ය. මේ අතර මාලදිවයිනේ දේශපාලන අර්බුදයට වෙනත් රටවල් මැදිහත් වුවහොත් එය එරට තත්ත්වය තවදුරටත් සංකීර්ණ භාවයට පත් කරනු ඇතැයි චීනය පවසයි. මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් එරට දේශපාලන අර්බුදය විසඳීමට ඉන්දීය හමුදාවේ සහය පැතීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කළේ, කිසිදු රටක් මාලදිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමෙන් වැළකිය යුතු බව ය. මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට තමන් සහය දක්වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීනය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද කියා සිටියේ ය. මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිංගප්පූරුව ද සිය ජනතාවට දැනුම් දුන්නේ ය.