බෙල්ලන්විල විමලරතන නා හිමියන්ට අජරාමර නිවන් සුව..!

බෙල්ලන්විල විමලරතන නා හිමියන්ට අජරාමර නිවන් සුව....!

by Staff writer 08-02-2018 | 7:00 AM
Colombo (Newsfirst) :අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමියන්ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි. අද පස්වරු 12.30 ට පමණ දේහය රැගත් පෙරහැර බොරලැස්ගමුව නගරය ඔස්සේ රත්තනපිටියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයට ළඟා විය. එහිදී විශ්වවිද්‍යාල උපකුලපතිතුමා ඇතුළු විශ්වවිද්‍යාල අචාර්ය මණ්ඩලය විසින් නාහිමියන්ගේ දේහය එහිදී භාර ගනු ලැබිණි. මහා සංඝරත්නය ප්‍රමුඛ මහජනතාව උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මහා සංඝරත්නයේ අනුශාසනාවලින් අනතුරුව අවමංගල සභාව විසින් වැඩකටයුතු ආරම්භ කරනු ලැබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද අවමංගල්‍ය උත්සවය සඳහා පැමිණි සිටියහ. මෙරට උගත් ධර්මධර සඟ පරපුරේ මිණි පහනක් බඳු වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ පසුගිය සෙනසුරාදා අපවත් වූහ. ඒ, හදිසි අනතුරකට ලක් ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත්වන විට 77 හැවිරිදි වියේ පසු වූ උන්වහන්සේ පර්යේෂණ ග්‍රන්ථ රැසක් පළ කර ඇති අතර ධර්ම ප්‍රචාරය සඳහා දේශ දේශාන්තරවල සංචාරය කරමින් විශාල මෙහෙයක් ද ඉටු කළ යථිවරයාණන් වහන්සේ නමකි.