ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මාලදිවයින් ජනපති අහෝසි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මාලදිවයින් ජනපති අහෝසි කරයි

by Hashini De Mel 07-02-2018 | 12:07 PM

COLOMBO (Newsfirst) - මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අහෝසි කර තිබේ.

මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන ඇත්තේ, අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ගත වූ පසුව ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපති අබ්දුල් යාමීන්ගේ ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු මෙම නියෝගය ලබා දී ඇති බවයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2වන දා නියෝග කළේ, මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂ දේශපාලනඥයින් බන්ධනාගාරයෙන් මුදාහැර යළි නඩු විභාග පැවැත්විය යුතු බව ය. ඊට මාලදිවයිනේ වත්මන් රජය ප්‍රතිචාර නොදැක්වීම හමුවේ ජනතා විරෝධතා මතු වූ අතර එය පාලනයට වත්මන් රජය රට තුළ හදිසි නීතිය ද ක්‍රියාත්මක කර තිබේ. වත්මන් ජනපති අබ්දුල් යාමීන් පැවසුවේ, තමාට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් දියත් වන බව ය. ජනපතිවරයාගේ නියෝගය මත අගවිනිසුරුවරයා සහ හිටපු ජනපතිවරයෙකු වූ මවුමර් ගයූම් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුව ය. එරට විපක්ෂය රට තුළ උද්ගතවී ඇති අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තරයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින බව විදෙස් වාර්තාහි සඳහන් වේ.