පොලීසිය මේ අතට ගන්නේ, කාගේ නීතියක් ද? (VIDEO)

පොලීසිය මේ අතට ගන්නේ, කාගේ නීතියක් ද? (VIDEO)

by Sagarika Chathumali 07-02-2018 | 10:39 PM
COLOMBO (NEWSFIRST) : කොල්ලුපිටිය පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සාමාන්‍ය පුරවැසියෙකුට අඩන්තේට්ටම් කිරීමේ සිදුවීමක් වාර්තා වේ. ඊයේ පෙරවරු 11.30ට පමණ මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෙරළ දෙසට වන්නට පිහිටි නිවසක හිමිකරුවෙකි. කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෙරළ දෙසට වන්නට පිහිටි අදාළ පුද්ගලයාගේ නිවසට ගමන් කරන පෞද්ගලික මාර්ගයේදී පොලීසිය මොහුට අඩන්තේට්ටම් සිදු කරන්නේ, තර්ජනාත්මකවයි. පසුව පොලීසිය එම පුද්ගලයා, ඔහුගේ සහෝදරයා සහ පුත්‍රයා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. එලෙස රැගෙන ගිය ඔවුන් තිදෙනා අද උදෑසන දක්වා පොලිස් ස්ථානයේ රඳවා ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. කොල්ලුපිටිය පොලීසිය 'බී' වාර්තාවක් මගින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත දැනුම් දී ඇත්තේ,, සැකකරුවන් පොලිස් රාජකාරියට බාධා කළ බවයි. එහෙත් ඒ කාගේ, කුමන රාජකාරියකට ද යන්න බී වාර්තාවේ සඳහන් කර නොමැත. මේ අතර අදාළ ප්‍රශ්නගත මාර්ගයට සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ගොස් ඇත්තේ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පෞද්ගලික දුරකථන ඇමතුමක් මත බව පැවසු ව ද එය තහවුරු කිරීමට පොලීසිය සමත්ව නොමැත. මේ අතර අත්අඩංගුවට ගැණුනු තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රථම කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් කිසියම් ලේඛන කිහිපයකට අත්සන් ලබා ගැනීමට උත්සාහ දරා තිබේ. ඊයේ සිද්ධිය අතරතුර ඇද වැටී තුවාල ලැබූ එම නිවසේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් පොලීසිය අද ප්‍රකාශ ද සටහන් කර ගෙන ඇත්තේ, ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.. පොලීසියේ අඩම්තේට්ටම්වලට ලක් වූ මෙම පුද්ගලයා ටෙන්ඩර් අක්‍රමිකතාවක් මුල්කර ගෙන පොලීසියට එරෙහිව පැවරූ නඩුවක් මේ වන විට කොළඹ වාණිජ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. ඊට අදාළ අල්ලස් කොමිසමේ ද විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.  

කොල්ලුපිටිය පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ මේ නොමනා හැසිරීම පොලීසියට එරෙහිව අධිකරණය හමුවට ගොස් සිටින පුද්ගලයෙකුට එරෙහිව අපරාධ හංවඩුව ගැසීමේ අරමුණින් සිදුවූවක් ද?

සිදුවීමට අදාළ දර්ශන පෙළ පහතින්....