මීතොටමුල්ලේ සිදු වූ හානිය පිළිබඳ වාර්තාව ජනපතිට

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම නිසා සිදු වූ හානිය පිළිබඳ වාර්තාව ජනපතිට

by Staff writer 06-02-2018 | 6:10 PM
කොළඹ (නිව්ස්ෆස්ට්) කොළොන්නාව මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම නිසා සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දුන්නේ ය. ඒ, එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු අචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසිනි. මීතොටමුල්ලට කසළ බැහැර කිරීම පිළිබඳ කෙටි කාලීන සහ දිගු කාලීන නිර්දේශ මෙම වාර්තාව තුළින් ඉදිරිපත් කර තිබේ. බස්නාහිර පළාත තුළ කසල බැහැර කිරීම කළමනාකරණය සඳහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද මෙම කමිටු වාර්තාව තුළින් පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා කමිටු වාර්තාව භාර ගනිමින් ප්‍රකාශ කළේ, මෙහි නිර්දේශ හා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී අදාළ අමාත්‍යංශ හා ආයතන වෙත උපදෙස් ලබා දෙන බව ය. කොළොන්නාව මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා භාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව ද කමිටු වාර්තාව පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ කොළඹ මහ නගර සභාව විසින් 2014 වසරේ ඒ සඳහා සිදු කළ වියදම රුපියල් මිලියන 64ක් වන අතර 2015 වර්ෂයේ රුපියල් මිලියන 192 ක් ලෙස ද, 2016 වර්ෂයේ රුපියල් මිලියන 232ක් ලෙස ද එම ගෙවීම් වර්ධනය වී තිබෙන බව ය.