මාලදිවයින නොසන්සුන්: පොලීසිය නීතිය අතට ගනී

මාලදිවයින් අර්බූදය උග්‍රඅතට : අගවිනිසුරුවරයා ත් පොලිස් අත්අඩංගුවට

by Sagarika Chathumali 06-02-2018 | 6:15 AM
COLOMBO (Newsfirst) : මාලදිවයින් පොලීසිය එරට අගවිනිසුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.   ඒ මාලදිවයින් ජනාධිපතිවරයා රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසුවයි. මාලදිවයින් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, විමර්ශන සඳහා අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ් සහ තවත් විනිසුරුවරයෙකු සිය භාරයට ගත් බවයි. එහෙත් විමර්ශනය කුමක් ද සහ ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳ එරට පොලීසිය වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත. මාලදිවයින් ජනාධිපතිවරයා රට තුළ දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා ද අත්අඩංගුවට ගැනිණ. ආණ්ඩුව එම නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත සිරගත කර සිටින විරුද්ධ පක්ෂ දේශපාලාන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා මාලදිවයින් විරුද්ධ පක්ෂ ආධාරකරුවන් දිවා රාත්‍රි උද්ඝෝෂණවල නිරතව සිටින අතරවාරයේදීයි. මාලදිවයිනේ මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වූයේ, අත්අඩංගුවේ පසු වූ විපක්ෂ දේශපාලනඥයින් 9 දෙනා වහාම නිදහස් කර යළි නඩු විභාගයක් පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය ජනපති අබ්දුල්ලා යාමීන් ක්‍රියාත්මක කිරීමට එකඟ නෙවීම හමුවේයි. සිය පළමු නියෝගයට අනුව රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් 9 දෙනා නිදහස් කරන මෙන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනයෙන් ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය දෙවන වරටත් නිවේදනයක් ද නිකුත් කළේ ය. ඔවුන්ට එරෙහිව පැවැත්වූ නඩු විභාග දෝෂසහගත සහ දේශපාලන අරමුණකින් දියත් වූවක් බව අධිකරණයේ නිගමනය විය. එහෙත් එම නියෝගය පිළිබඳව ප්‍රශ්න කරන මාලදිවයින් ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ හේතුවෙන් මේ වන විට මාලදිවයින තුළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ.