හෙට විවාදයේදී විනීතව හැසිරෙන්න - කතානායක

හෙට විවාදයේදී විනීතව හැසිරෙන්න - කතානායක

by Chathuranga Rajapaksha 05-02-2018 | 8:10 PM
මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට පැවැත්වේ. හෙට පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පෙබරවාරි 21 සහ 22 යන දිනයන්හී මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය යළි පැවැත්වීමට ද මෙහිදී තීරණය කර තිබේ. බරපතල වංචා දූෂණ පිළිබඳ වාර්තා 34 කට අදාළ පිටු 7,000 ක් පමණවන ලිපි ගොනු සී.ඩී. තැටි වලට ඇතුළත් කර මන්ත්‍රීවරුන් වෙත හෙට ලබා දීමට බලාපොරොත්තුවෙන බව ද එම නිවේදනයේ දැක්වේ. එහිදී බැඳුම්කර සිද්ධියට අදාළ පාර්ශවකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාදාමයක් ඇරඹී ඇති බැවින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාද කිරීමේ හැකියාව පිළිබඳව ‍අවධානය යොමු වී තිබේ. එහෙත් කතානාය කරූ ජයසුරිය මහතාගේ ස්ථාවරය වී ඇත්තේ රිචඩ් ද සොයිසා නඩුව පැවති සමයේ එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම පිළිබඳ එකල කතානායකවරයා දුන් තීන්දුව පූර්වාදර්ශයක් ලෙස ගනිමින් විවාදය පැවැත්වීමට බාධාවක් නොමැති බව ය. මෙම විවාදය කෙරෙහි පුළුල් ජනතා අවධානයක් යොමු වී ඇති බැවින් ඉතා වගකීමකින් යුක්තව විවාදයට සහභාගිවන ලෙස සියලු පාර්ශවන්ගෙන් ඉල්ලා සිටින බව ද කතානායකවරයා මෙහිදි දැනුම් දී තිබේ. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබුණු අප්‍රසන්න අවස්ථාවන් නිර්මාණය වීමට යළි ඉඩ නොතබන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද කථානායකවරයා එහිදි සඳහන් කළ බව කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් අදහස් පල කළේය. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා "හෙට දිනය ඉතාම දුෂ්කර දිනයක් ටී.එන්.ඒ. සංවිධානය ලිඛිතවම දන්වා තිබෙනවා. ඔවුන්ට කිසිසේත්ම සහභාගි වෙන්න බැහැ මේ දුෂ්කර කාලය අනුව ඒ අනුව හෙට දින දිවා ආහාරයක් නොමැතිව පසුවරු 4 තෙක් වාද කිරිමටත් අනතුරුව තවත් දින දෙකක් වාද කිරිමටයි තමයි තිරණ වුණේ." එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම. දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නය - මන්ත්‍රීතුමා අර්ජුන් ඇලෝසියස් හා තව කෙනෙක් අත්අඩංගුවට ගත්තා මේකෙන් සෑහීමකට පත්වෙන්න පුළුන්ද ඇත්තටම ? පිළිතුර - "පෙකෙනි වැල ඉවර වෙන තැන රටම දන්නවා ඒ නිසා ආරම්භයක් කියලා කියනවා නම් හොඳයි හැබැයි ආරම්භය නැවතීම වෙන්න බැහැ ඒ නිසා මේ ර‍ටේ වුණ බරපතලම බැංකු වංචාව පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරිමට රජය බොහොම අලසයි. අවුරුදු දෙක හමාරක් ගතවුණා මේ අලස කම"